Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

නවවන පාඩම - 09

        අද පාඩම විභක්ති එක්ක වාක්‍ය යෙදිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන. ඒකට වැදගත් පොතක තියෙන පාඨ තමයි කියලා දෙන්නේ. ඒ පොතේ නම් පාළිපාඨමඤ්ජරී. හරි සරල පොතක් පාලි ඉගෙන ගන්න අයට. පොත නම් ඉතින් හොයාගන්නත් අමාරුයි. ඒක පරණ පොතක් නිසා. ඒකට කමක් නෑ. මේ වාක්‍ය ටික බලලා ටිකක් ඉගෙන ගමු. ඉස්සරවෙළාම පාඩම් හතක් ඉගෙන ගමු. ඒකට කළින් පළමු පාඩම, දෙවන පාඩම, තෙවන පාඩම කියලා පාලියෙන් යෙදෙන හැටි ඉගෙන ගනිමු.

01. පළමු පාඩම             - පඨමො පාඨො.
02. දෙවන පාඩම          - දුතියො පාඨො.
03. තෙවන පාඩම         - තතියො පාඨො.
04. හතරවන පාඩම      - චතුත්ථො පාඨො.
05. පස්වන පාඩම         - පඤ්චමො පාඨො.
06. හයවන පාඩම         - ඡට්ඨො පාඨො.
07. හත්වන පාඩම         -  සත්තමො පාඨො.

01. පඨමො පාඨො
    පළමුවන පාඩමේදී කියලා දෙන්නේ "ප්‍රථමා විභක්තිය" ගැන. පාලියෙන් කියන්නේ "පඨමා විභත්ති" කියලා. පොතේ තියෙන්නේ "පඨමා විභත්ති පයොගා" කියලා. ඒ කියන්නේ ප්‍රථමා විභක්ති ප්‍රයෝග හෙවත් යෙදීම කියන එකයි. උදාහරණ බලන්න.

01. බුද්ධො විරොචති.
02. මාතා සයති.
03. චන්දො උදෙති.
04. පුරිසො හසති.
05. නදී සන්දති.
06. වාතො වායති.
07. දාරකො කීළති.
08. අස්සො ධාවති.
09. රාජා නිසීදති.
10. රුක්ඛො පතති.
11. යාචකො යාචති.
12. ගොණො තිට්ඨති.

01. බුදුරජාණන් වහන්සේ බබළයි.
02. මව නිදාගනියි.
03. සඳු උදාවෙයි.
04. පුරුෂයා සිනාසෙයි.
05. නදිය ගලාබසියි.
06. වාතය හමයි.
07. දරුවා ක්‍රීඩා කරයි.
08. අශ්වයා දුවයි.
09. රජු හිඳියි.
10. ගස වැටෙයි.
11. යාචකයා ඉල්ලයි.
12. ගොණා සිටියි.

* මේ වාක්‍ය සියල්ලටම උක්තයක් තියෙනවා. ඒ උක්තය තියලා තියෙන්නේ ප්‍රථමා විභක්තියෙන්. ඒ කියන්නේ ප්‍රථමා විභක්තියෙන් තමයි කර්තෘ කාරක වාක්‍යය උක්තය තියන්නේ. කර්තෘ කාරක වාක්‍යයක් කියලා කියන්නේ කර්තෘ ප්‍රධාන වන වාක්‍යයටයි. අනික් එක කර්මකාරකනේ. ඒකේ කර්තෘ නෙවෙයි ප්‍රධාන වෙන්නේ. ඒකේ ප්‍රධාන වෙන්නේ කර්මය. ඒ ගැන මේ පාඩමේදීම දැනගන්න පුළුවන්. මේකේ තියෙන උක්ත පද තමයි. මුළින්ම තියෙන බුද්ධො, මාතා, චන්දො, පුරිසො, නදී, වාතො, දාරකො, අස්සො, රාජ, රුක්ඛො, යාචකො, ගොණො කියන පද.

02. දුතියො පාඨො
    දෙවන පාඨමේදී කියලා දෙන්නේ දුතියා විභක්තිය ගැන. ඒ කියන්නේ දෙවන විභක්තිය කියන එක. නමුත් පාලියේදී කර්මය තියන්නේ මේ විභක්තියෙන්. ඒ ගැන මුළින් පාඩමක් කථා කළා. ඒකත් මෙතැනදී වැදගත් වෙනවා. කර්මය කියලා කියන්නේ මොකක්ද කියලා ඒකෙත් පැහැදිළි කළා. කර්මය කියන්නේ ක්‍රියාවට යටත්වන පදය කියලා මතක තියාගන්න දැනට. දැන් දුතියා විභත්ති පයොගා - දුතියා විභක්ති ප්‍රයෝග. බලන්න පහත වාක්‍යයන් දිහා.

01. රාජා නගරං ගච්ඡති.
01. රාජානො නගරානි ගච්ඡන්ති.
02. පිතා පුත්තං පොසෙති.
02. පිතරො පුත්තෙ පොසෙන්ති.
03. දාසො උදකං ආහරති.
03. දාසා උදකානි ආහරන්ති.
04. චොරො ධනං හරති.
04. චොරා ධනානි හරන්ති.
05. ගොණො තිණං ඛාදති.
05. ගොණා තිණානි ඛාදන්ති.
06. භික්ඛු ධම්මං දෙසෙති.
06. භික්ඛවො ධම්මෙ දෙසෙන්ති.
07. පුරිසො කම්මං කරොති.
07. පුරිසා කම්මානි කරොන්ති.

01.රජු නරගයට යයි.
01. රජවරු නගරවලට යති.
02. පියා පුතාව පෝෂණය කරයි.
02. පියවරු පුතුන් පෝෂණය කරති.
03. දාසයා ජලය ගෙන එයි.
03. දාසයෝ ජලය ගෙන එති.
04. සොරා ධනය ගෙන යයි.
04. සොරු ධනය ගෙන යති.
05. ගොනා තණකොළ කයි.
05. ගොන්නු තණකොළ කති.
06. භික්ෂුව ධර්මය දේශනා කරයි.
06. භික්ෂූහු ධර්ම දේශනා කරති.
07. පුරුෂයා වැඩය කරයි.
07. පුරුෂයෝ වැඩ කරති.

    මේ වාක්‍ය දිහා බලන කොට පේනවා බින්දුවකින් අවසන් වන පද ටිකක්. නගරං, පුත්තං, උදකං, ධනං, තිණං, ධම්මං, කම්මං කියලා. ඒවා තමයි දුතියා විභක්ති පද. ඒ වගේම නගරානි, පුත්තෙ, උදකානි, ධනානි, තිණානි, ධම්මෙ, කම්මානි කියලත් පද ටිකක් උක්තයටයි, ක්‍රියාපදයටයි මැද යොදලා තියෙනවා. ඒවා මුළින් කියපු පදවල බහුවචන පද. ඒවා දුතියා විභක්ති ඒකවචන, බහුවචන කියලා මතක තියාගන්න. හැබැයි සිංහලයේදී අර්ථය ගන්නකොට ඒකවචනයත්, බහුවචනයත් සමානව සමහර ඒවගේ යොදලා තියෙනවා. ජලය කියන එක ජල කියලා කියන්නේ නෑ සිංහලයේ. ඉතින් සිංහල රීතියට අනුව තමයි පරිවර්තනය කරන්න වෙන්නේ.

03. තතියො පාඨො
      තෙවන පාඩමේදී කියාදෙන්නේ "තතියා විභක්තිය" යෙදෙන අයුරු ය. සංස්කෘතයෙන් තෘතීයා විභක්තිය යනුවෙන් ද, සිංහලයෙන් "කතු විභක්තිය" යනුවෙන් ද මෙය හඳුන්වනවා. මෙම විභක්තිය උක්ත කර්තෘ පදය අනුක්ත කර්තෘ පදයක් බවට පත් කර ගැනීමේදී තමයි යොදාගන්නේ. කර්තෘ කාරක වාක්‍යයක උක්තය තබන්නේ පඨමා විභක්තියෙන්. කර්මකාරක වාක්‍යයක දී එම පදය අනුක්ත කර්තෘ බවට පත්කර ගන්නවා. එවිට බුද්ධෙන කියල තමයි තබන්නේ. පහත දැක්වෙන උදාහරණ දැක්කම කර්තෘ අනුක්තවෙලා, කර්මය උක්ත කර්ම බවට පත්වෙලා කියලා තේරෙනවා.

01. බුද්ධෙන දෙසිතො ධම්මො.
02. උපාසකෙන දානං දීයතෙ.
03. පුරිසෙන කතො උපකාරො.
04. ඉත්ථියා භත්තං පච්චතෙ.
05. මිත්තෙන පෙසිතං ලෙඛනං.
06. රාජෙන කාරිතො විහාරො.
07. භික්ඛුනා රක්ඛිතං සීලං.
08. ආචරියෙන දින්නො ඔවාදො.
09. දාසෙන භාරො නීයතෙ.
10. සකුණෙහි කතානි කුළාවකානි.
11. චොරෙහි ධනානි හරීයන්තෙ.

01. බුදුරදුන් විසින් දේශිත ධර්මය.
02. උපාසකයා විසින් දානය දෙනු ලැබේ.
03. පුරුෂයා විසින් කරණ ලද උපකාරය.
04. ස්ත්‍රීය විසින් බත පිසනු ලැබේ.
05. මිත්‍රයා විසින් යවන ලද ලියුම.
06. රජතුමා විසින් කරවන ලද විහාරය.
07. භික්ෂුව විසින් රකින ලද සීලය.
08. ගුරුවරයා විසින් දෙනලද අවවාදය.
09. දාසයා විසින් බර ගෙනයනු ලැබේ.
10. කුරුල්ලන් විසින් කරණ ලද කැදලි. (කූඩු)
11. සොරුන් විසින් ධනය ගෙනයනු ලැබෙත්.

04. චතුත්ථො පාඨො - සතර වන පාඩම
        මෙම පාඩමේදී "චතුත්ථී විභක්තිය" යෙදෙන හැටි දැක්වෙනවා. "චතුර්ථී" කියලත් කියනවා සංස්කෘතයෙන්. "සම්පදානෙ චතුත්ථී" කියලා තමයි බාලාවතාරෙ හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ යමක් ප්‍රදානය කරණ කොට ඒ ප්‍රදානය ලබන පුද්ගලයා ඉන්නවනේ. ඒ පුද්ගලයාව තියෙන්නේ මේ විභක්තියෙන්.  පහත උදාහරණ දැක්කම තේරෙයි.

01. මාතා යාචකස්ස භත්තං දෙති.
02. දායකො භික්ඛූනං උපට්ඨාති.
03. ගොපාලො ගොණස්ස තිණං ආහරති.
04. දාසො සාමිකස්ස ඡත්තං ධාරෙති.
05. අසප්පුරිසා පරස්ස කුජ්ඣන්ති.
06. නාරී තාපසස්ස වත්ථං දදාති.
07. සත්තානං සුඛං භවතු.
08. බුද්ධො භික්ඛූනං ධම්මං දෙසෙති.
09. බාලකො රුක්ඛස්ස ජලං දෙති.
10. උපාසකො බුද්ධස්ස නමො කරොති.

01. මව යාචකයාට බත් දෙයි.
02. දායකයා භික්ෂූන්ට උපස්ථාන කරයි.
03. ගොපල්ලා ගොණාට තණකොළ ගෙන එයි.
04. දාසයා ස්වාමියාට කුඩයක් දරයි.
05. අසත්පුරුෂයා අනුන්ට කිපෙයි.
06. ස්ත්‍රීය තාපසයාට වස්ත්‍රයක් දෙයි.
07. සත්වයන්ට සුවය වේවා!
08. බුදුරජ භික්ෂූන්ට දහම් දෙසයි.
09. ළමයා ගසට ජලය දෙයි.
10. උපාසකයා බුදුරදුන්ට නමස්කාර කරයි.

* "දාසො සාමිකස්ස ඡත්තං ධාරෙති" කියන තැන දීමක් නම් පේනට නෑ. ඒවට කියන්නේ විශේෂ ප්‍රයෝග කියලා. මේවාට පාලියේ කාරක කියලා කියන්නේ. ඒ තැන්වල සම්ප්‍රදාන කාරකය කියලා හඳුන්වනවා. එතකොට මේ විභක්තිය හඳුන්වන්නේ මෙහෙමයි.
සම්ප්‍රදාන කාරකයෙහි චතුර්ථී විභක්තිය යෙදෙයි. "අනුකම්පා අදහසින් හෝ පූජා අදහසින් හෝ යමක් යමෙකුට දෙනු කැමැත්තේ ද, රුචි කෙරේ ද, දරා ද ඒ සම්ප්‍රදාන කාරක නමි." කියලා.
ඉතින් මෙතන තියෙන්නේ දැරීමක් ගැන. ඒනිසා ඒකත් සම්ප්‍රදාන කාරකයේ එක ලක්ෂණයක්. ඒ වගේම "අසප්පුරිසා පරස්ස කුජ්ඣන්ති" කියන තැනත් තියෙන්නේ මේ වගේම ලක්ෂණයක්. ඒ කියන්නේ "කුධ, දුහ, ඉස්ස, උසූය, රාධ, ඉක්ඛා" කියලා ධාතු ටිකක් සමඟ මෙම සම්ප්‍රදාන පදයක් යෙදීමයි. කුජ්ඣන්ති කියන ක්‍රියාවේ ධාතුව කුධ කියන එක නිසා ක්‍රෝධ කිරීම් අර්ථයේ මේ විභක්තිය යෙදෙනවා.

පඤ්චමො පාඨො - පස්වන පාඩම.
        පස්වන පාඩමේදී කියලා දෙන්නේ "පඤ්චමී විභක්තිය" යෙදෙන හැටි ගැන. පඤ්චමී විභක්තිය බාලාවතාරයෙහි හඳුන්වන්නේ "අපාදානෙ පඤ්චමී" කියලා. "වෙන්වීම් අර්ථයෙහි" පඤ්චමී විභක්තිය යෙදෙන්නේ. වෙන්වීම් අර්ථය කියන්නේ කිසියම් තැනකින් වෙන්වීම. "නගරයෙන් ගමට එමි" කියලා කියන තැන නරගයෙන් කියන කොට නගරයෙන් වෙන්වෙලා තමයි ගමට එන්නේ. "ගසෙන් ගෙඩිය වැටෙයි" කියන කොට ගසෙන් ගෙඩිය වෙන්වෙලා තමයි බිමට වැටෙන්නේ. ඉතින් ඒක නිසා වෙන්වීම කියලා කියනවා. ඒ වගේ තැන්වලදී ඒ වැටෙන්නේ හරි වෙන්වෙන්නේ හරි තැනකින්නෙ. ඒ තැන තියන්නේ පඤ්චමී විභක්තියෙන්. පහත උදාහරණ බලන්න.

01. මනුස්සො ගාමස්මා ආගච්ඡති.
02. රාජා නගරා අපෙති.
03. රුක්ඛම්හා ඵලං පතති.
04. පාපෙහි චිත්තං නිවාරයති.
05. දාරකො චොරස්මා භායති.
06. සිස්සො ආචරියම්හා සික්ඛං ගණ්හාති.
07. පණ්ඩිතා දුක්ඛෙහි මුඤ්චන්ති.
08. තාපසා වනස්මා නික්ඛමන්ති.
09. මාතා පුත්තං විපත්තියා රක්ඛති.
10. ධම්මස්මා විනා සුඛං නත්ථි.
11. වානරො පබ්බතම්හා පතති.
12. කුමාරො ආසනස්මා උට්ඨහති.
13. සුරියස්මා රංසියො නිග්ගච්ඡන්ති.

01. මිනිසා ගමෙන් එයි.
02. රජු නගරයෙන් වෙන්වෙයි.
03. ගසෙන් ගෙඩිය වැටෙයි.
04. පාපයන්ගෙන් සිත වළක්වයි.
05. දරුවා සොරාගෙන් බිය වෙයි.
06. ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ශිල්ප උගනියි.
07. පණ්ඩිතයෝ දුක්වලින් මිදෙති.
08. තාපසයෝ වනයෙන් කික්මෙති.
09. මව පුතා විපතින් රකියි.
10. ධර්මයෙන් තොර සැපයක් නැත.
11. වඳුරා පර්වතයෙන් වැටෙයි.
12. කුමාරයා ආසනයෙන් නැගිටියි.
13. හිරුගෙන් රැස් නික්මෙත්.

*මේ වාක්‍යවල සමහර ඒවා පඤ්චමී හෙවත් අපාදාන කාරකයට අයත් ඒවායි. මෙතන තියෙන වාක්‍යවලට අනුව මෙහෙම බලමු.
01. "පාපෙහි චිත්තං නිවාරයති" යන වාක්‍යයේ අකමැති දෙයකින් වෙන්වෙන නිසා අනිච්ඡිතාර්ථයෙහි යෙදේ. අනිච්ඡිතාර්ථය කියන්නේ කැමති නැති අර්ථයයි.
02. "මාතා පුත්තං විපත්තියා රක්ඛති" යන වාක්‍යයේ විපත්තියා කියන්නේ විපතින් කියන එකයි. එය රැකීම් අර්ථයේ යෙදී ඇත.
03. "ධම්මස්මා විනා සුඛං නත්ථි" මෙම වාක්‍යයේ විනා යන නිපාතය ඇති නිසා ධම්මස්මා යන පදය යෙදී ඇත. එය නිපාත යොගය යැයි කියති. මේ වගේම "විනා, නානා, රිතෙ, යාව" කියන පද එක්කත් පඤ්චමී විභක්තිය යෙදේ.

06. ඡට්ඨො පාඨො - සයවැනි පාඩම.
        මෙම පාඩමේදී කියලා දෙන්නේ සයවන විභක්තිය හෙවත් "ඡට්ඨී විභක්තිය" ගැනයි. බාලාවතාරයේ දැක්වෙන්නේ "සාමිස්මිං ඡට්ඨී" යනුවෙන්. ඒ කියන්නේ "ස්වාමි අර්ථයෙහි" ඡට්ඨි විභක්තිය යෙදෙනවා කියන එකයි. "සාමි" කියන්නේ "ස්වාමියා". යමෙකුගේ අයිතිය ප්‍රකාශ කරණ කොට මෙම විභක්තිය යොදා ගන්නවා. ඒ කියන්නේ යමක අයිතිකාරයා තබන්නේ මේ විභක්තියෙන්. "මගේ පොත, මගේ ගෙදර" කියනකොට "මගේ" කියලා අයිතියක් ප්‍රකාශ වෙනවා. එතකොට "මගේ" කියන එක තබන්නේ මේ විභක්තියෙන්. උදාහරණ දෙස බලන්න.   
       

01. බුද්ධස්ස සාසනං චිරං තිට්ඨතු.
02. කුමාරස්ස පුඤ්ඤං මහන්තං හොති.
03. මග්ගිකස්ස භණ්ඩං චොරො හරති.
04. සීහො චතුප්පදානං රාජා හොති.
05. බ්‍රාහ්මණස්ස පුත්තො සිප්පං උග්ගණ්හාති.
06. මිත්තානං දස්සනං සුඛං ආවහති.
07. නරානං ඤාණෙන සමං ධනං නත්ථි.
08. රුක්ඛස්ස සාඛා වාතෙන කම්පතෙ.
09. සක්කො දෙවානං රාජා භවති.
10. නගරස්ස අවිදූරෙ ආරාමො අත්ථි.
11. පුප්ඵානං සුග‍න්ධො පටිවාතං න ගච්ඡති.
12. කම්මානං විපාකො අත්ථි.

01. බුදුරදුන්ගේ සසුන බොහෝ කල් සිටීවා.
02. කුමාරයාගේ පින මහත් වෙයි.
03. මගියාගේ භාණ්ඩය සොරා ගෙන යයි.
04. සිංහයා සිව්පාවුන්ගේ රජු වෙයි.
05. බ්‍රාහ්මණයාගේ පුතා ශිල්පය ඉගෙන ගනියි.
06. මිත්‍රයන්ගේ දර්ශනය සැප ගෙන දෙයි.
07. මිනිසුන්ගේ ඥානය සමාන ධනයක් නැත.
08. ගසේ අතු වාතයෙන් කම්පාවෙනු ලැබේ.
09. ශක්‍රයා දෙවියන්ගේ රජු වෙයි.
10. නගරයට නුදුරෙහි ආරාමයක් ඇත.
11. මල්වල සුවඳ උඩු සුළ
12. කර්මයන්ගේ විපාක ඇත.

07. සත්තමො පාඨො - සත්වන පාඩම.
        මෙම පාඩමේදී "සප්තමී විභක්තිය" යෙදෙන හැටි දැක්වෙනවා. බාලාවතාරයේ දැක්වෙන්නේ "ආධාරෙ සත්තමී" කියලා. "ආධාරාර්ථයෙහි සප්තමී" විභක්තිය යෙදෙනවා. කුමක් හරි තැබීමට නම් ආධාරකයක් අවශ්‍යයි. ඒ ආධාරකය තබන දේ මෙම විභක්තියෙන් යොදනවා. ඒ වගේම කෙරෙහි කියන අර්ථයත් මේකෙ තියෙනවා. උදාහරණ බලන්න.

01. සබ්බෙ ජනා බුද්ධෙ පසීදන්ති.
02. ආරාමෙ බහූ භික්ඛූ වසන්ති.
03. උදකෙ මච්ඡා වසන්ති.
04. ආකාසෙ සකුණා උඩ්ඩෙන්ති.
05. රුක්ඛෙසු වානරා වසන්ති.
06. ඝටෙ ජලං අත්ථි.
07. නගරෙ ධනවන්තො පුරිසා හොන්ති.
08. අහං ආසනෙ නිසීදාමි.
09. මයං ගෙහෙසු වසාම.
10. තාපසා ගාමෙ චරන්ති.
11. ජම්බුදීපෙ එව බුද්ධා උප්පජ්ජන්ති.
12. බාලකා සත්ථසාලාසු උග්ගණ්හන්ති.
13. මනුස්සා මග්ගෙසු ගච්ඡන්ති.
14. සූදො චාටියං භත්තං පචති.
15. අනුරාධපුරෙ බහූනි චෙතියානි සන්ති.
16. දාඨාදාතුමන්දිරං සිරිවඩ්ඪනපුරෙ පතිට්ඨිතං.

01. සියලු ජනයෝ බුදුරදුන් කෙරෙහි පහදිති.
02. අරමෙහි බොහෝ භික්ෂූහු වසති.
03. ජලයෙහි මත්ස්‍යයෝ වසති.
04. අහසේ කුරුල්ලෝ පියාඹති.
05. ගස්වල වඳුරො වසති.
06. කළයේ ජලය ඇත.
07. නගරයේ ධනවත් පුරුෂයෝ වෙති.
08. මම අසුනේ හිඳිමි.
09. අපි ගෙවල්වල වසමු.
10. තාපසයෝ ගමේ හැසිරෙති.
11. දඹදිව ම බුදුවරු උපදිති.
12. ළමයි ශාස්ත්‍රශාලාවල ඉගෙන ගනිත්.
13. මිනිස්සු මාර්ගවල යති.
14. අරක්කැමියා හැළියෙහි බත පිසයි.
15. අනුරාධපුරයේ බොහෝ චෛත්‍ය ඇත.
16. දළදාමැඳුර මහනුවර පිහිටියේ වෙයි.

08. අට්ඨමො පාඨො - අටවන පාඩම.
        මෙම පාඩමේදී "කරණ විභක්තිය" ගැන දැක්වෙනවා. කරණ විභක්තියත් තතියා විභක්තියත් සමානව වරනැඟෙනවා. නමුත් භාවිතයේදී අර්ථය වෙනස්. සාමාන්‍යයෙන් කියතොත් "කරණකොට ගෙන" කියන අර්ථය මේ විභක්තියේ ඇති අර්ථයයි. නැතිනම් යමක් හේතු කොටගෙන යමක් කළ යුතු වෙනවා. "පොරොව කරණකොට ගෙන ගස කපයි" කිව්වාම "පොරොව" ගස කැපීමට ආධාර වෙනවා. ඒ අවස්ථාවේදී පොරොවෙන් (පොරව කරණකොට) කියන අර්ථය ගැනීම සඳහා මෙම විභක්තියෙන් තබනවා. උදාහරණ බලන්න.

01. බුද්ධෙන ලොකො සුඛී භවති.
02. කම්මකාරො හත්ථෙන කම්මං කරොති.
03. යොධො අසිනා සීසං ඡින්දති.
04. පුරිසො රථෙන ගාමං ගච්ඡති.
05. කස්සකො දාත්තෙන වීහිං ලුනාති.
06. දාසො ඵරසුනා රුක්ඛං ඡින්දති.
07. පුඤ්ඤෙන දෙවලොකං යාති.
08. පාපෙන නිරයං යාති.
09. වානිජො නාවාය සමුද්දං තරති.
10. අලසො දුක්ඛෙන වසති.
11. සබ්බෙ සත්තා ආහාරෙන ජීවන්ති.
12. මනුස්සා විරියෙන දුක්ඛං අච්චෙන්ති.
13. ධම්මෙන වසන්තො සුඛං වින්දති.
14. අහං ධූමරථෙන නගරං ගච්ඡාමි.

01. බුදුරදුන් කරණකොට ලොව සුවපත් වෙයි.
02. කම්කරුවා අත කරණකොට වැඩ කරයි.
03. යෝධයා කඩුවෙන් හිස සිඳයි.
04. පුරුෂයා රථයෙන් ගමට යයි.
05. ගොවියා දෑකැත්තෙන් වී කපයි.
06. දාසයා පොරොවෙන් ගස සිඳියි.
07. පිනෙන් දෙව්ලොවට යයි.
08. පාපයෙන් නිරයට යයි.
09. වෙළෙන්දා නැවෙන් මුහුද තරණය කරයි.
10. අලසයා දුකෙන් වසයි.
11. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙත්.
12. මිනිස්සු වීර්යයෙන් දුක ඉක්මවා යත්.
13. ධර්මයෙන් වාසය කරන්නා සැපය විඳියි.
14. මම දුම්රියෙන් නගරයට යමි.

09. නවමො පාඨො - නවවන පාඩම.
        මෙම පාඩමේදී "ආලපන විභක්තිය" ගැන දැක්වෙනවා. "ආලපන" කියන්නේ "ආමන්ත්‍රණය කිරීම, කථා කිරීම". යමෙකුට කථා කරන්න ඕන උනාම මේ විභක්තියේ පදයෙන් තමයි තබන්නේ. දරුවා මෙහෙ එන්න කියන කොට දරුවා කියන පදය තබන්නේ ආලපනයෙන්. උදාහරණ බලන්න.

01. ආචරිය, මය්හං ඉමං පොත්ථකං දෙහි.
02. දාරක, අත්තනො ආසනෙ නිසීද.
03. අන්තෙවාසික, ත්වං පාළිභාසං උග්ගණ්හාහි.
04. අම්ම, මය්හං කීළාභණ්ඩං දෙහි.
05. අසප්පුරිස, පාපං න කරොහි.
06. භාතරො, සාමග්ගිං රක්ඛථ.
07. දාසා, උදකං ආහරථ.
08. උපාසකා, දානං දෙථ, සීලං රක්ඛථ, භාවනං වඩ්ඪෙථ.
09. මිත්ත, පඤ්චසීලං රක්ඛන්තො සග්ගං ගච්ඡති.
10. සාමි, ත්වං කුහිං ගච්ඡසි.
11. භන්තෙ, මය්හං අනුකම්පං කරොතු.
12. මහාරාජ, සාසනස්ස අභිවුද්ධියා වායාමං කරොහි.

01. ගුරුතුමනි, මට මේ පොත දෙන්න.
02. දරුව, තමාගේ අසුනේ හිඳගන්න.
03. අතවැසිය, නුඹ පාළිභාෂාව ඉගෙන ගනිහි.
04. අම්මේ, මට සෙල්ලම් බඩුවක් දෙන්න.
06. අසත්පුරුෂය, පව් නොකරන්න.
07. සහෝදරයිනි, සමගිය රකිව්.
08. දාසයෙනි, ජලය ගෙනඑව්.
09. උපාසකයිනි, දන් දෙව්, සිල් රකිව්, භාවනා වඩව්.
10. මිත්‍රය, පන්සිල් රකින්නා ස්වර්ගයට යයි.
11. ස්වාමීනි, නුඹ කොහි යන්නෙහි ද?
12. ස්වාමීනි, මට අනුකම්පා කරන්න.
13. මහාරජතුමනි, සසුනේ අභිවෘද්ධිය පිණිස වෑයම් කරන්න.

නවවන පාඩම අවසානයි.

Picture
දහවන පාඩමට මෙතැනින් යන්න.
Powered by Create your own unique website with customizable templates.