දහසය වන පාඩම - 16
මෙම පාඩමෙහි අරමුණ වාක්‍ය කියවා තේරුම් ගැනීම. ඉතින් ඕනම භාෂාවක් එදිනෙදා කියවනව නම් මතක තියෙනවා. ඒක නිසා නිතර නිතර බලන කොට ඒ වචන ඉබේම වාගේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙහි දක්වලා තියෙන්නේ දීපඞ්කර පාදමූලයේ බුදුබව පැතූ සුමේධ පණ්ඩිතයාගේ කථාවේ කොටසක්. සුමේධ පණ්ඩිතයා කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ. උන්වහන්සේගේ චරිත කථාව මුලින්ම ආරම්භ වන්නේ සුමේධතාපසයා නමින් දැක්වෙන අතීත කථාවෙන්. ඒ කථාව කියවා එහි තේරුම දැනගන්න උත්සාහ කරන්න.
දීපඞ්කරො දසබලො භික්ඛූහි පරිවාරෙත්වා නගරං ගන්තුං ආගච්ඡති. තථා අපි තථා අපි සුමෙධ-පණ්ඩිතස්ස මග්ග-කොට්ඨාසං නිට්ඨපෙතුං න සක්කොති. අථ සො එවං චින්තෙසි.- "අයං අම්හාකං තථාගතො සුරියො විය විරොචන්තො ඛීණාසවෙහි භික්ඛූහි සද්ධිං ඉමං මග්ගං පටිපජ්ජි. මය්හං මග්ග-කොට්ඨාසං අපි සොධෙතුං න අසක්ඛි. තස්මා මයා අජ්ජ දසබලස්ස ජීවිත-දානං කාතුං වට්ටති" ඉති භගවා ඉමං කලලං න අක්කමතු. මම පිට්ඨිං එව මද්දන්තො භික්ඛු-සඞ්ඝෙහි සද්ධිං ගච්ඡතු. ඉති චින්තෙත්වා අත්තනො කෙසෙ මුඤ්චින්තො අජින-චම්මං ච වාකචීරානි ච කලලෙ අත්ථරිත්වා සෙතු විය කලල-මත්ථකෙ නිපජ්ජි.
තේරුම
- දීපඞ්කරො - දීපඞ්කර, දසබලො - දසබලැති බෝසතාණන් වහන්සේ, භික්ඛූහි - භික්ෂූන් විසින්, පරිවාරෙත්වා - පිරිවරා, නගරං - නගරයට, ගන්තුං - යන්නට, ආගච්ඡති - පැමිණෙයි. තථා අපි - එසේ නමුදු, සුමෙධ-පණ්ඩිතස්ස - සුමේධ පණ්ඩිතයාගේ, මග්ග-කොට්ඨාසං - මාර්ගයේ කොටස, නිට්ඨපෙතුං - නිමවන්නට, න සක්කොති - නොහැකි වෙයි. අථ - ඉක්බිති, සො - හෙතෙම, එවං - මෙසේ, චින්තෙසි - සිතුවේය.- "අයං - මේ, අම්හාකං - අපගේ, තථාගතො - තථාගතයන් වහන්සේ, සුරියො - හිරු, විය - මෙන්, විරොචන්තො - බබලමින්, ඛීණාසවෙහි - ක්ෂීණාශ්රව, භික්ඛූහි - භික්ෂූන් වහන්සේලා, සද්ධිං - සමග, ඉමං - මේ, මග්ගං - මගට, පටිපජ්ජි - පිළිපන් සේක. මය්හං - මට, මග්ග-කොට්ඨාසං - මාර්ගයෙහි කොටස, අපි - ද, සොධෙතුං - ශුද්ධකරන්නට, න අසක්ඛි - නොහැකි විය. තස්මා - එහෙයින්, මයා - මා විසින්, අජ්ජ - අද, දසබලස්ස - දසබලයන් වහන්සේට, ජීවිත-දානං - ජීවිතදානය, කාතුං - කරන්නට, වට්ටති - වටියි" ඉති - යැයි, භගවා - භාග්‍යවතුන් වහන්සේ, ඉමං - මේ, කලලං - මඩ, න අක්කමතු - නොපාගන සේක්වා. මම - මගේ, පිට්ඨිං - පිට, එව - ම, මද්දන්තො - මඩිමින් (පාගමින්), භික්ඛු-සඞ්ඝෙහි සද්ධිං - භික්ෂු සංඝයා සමග, ගච්ඡතු - වඩින සේක්වා. ඉති - යැයි, චින්තෙත්වා - සිතා, අත්තනො - තමන්ගේ, කෙසෙ - කෙස්, මුඤ්චින්තො - මුදමින් (ලිහමින්), අජින-චම්මං - අඳුන් දිවිසම, ච - ද, වාකචීරානි - වැහැරි වස්ත්‍ර, ච - ද, කලලෙ - මඩෙහි, අත්ථරිත්වා - අතුරා, සෙතු - හෙයක් (ඒ දණ්ඩක්) විය - මෙන්, කලල-මත්ථකෙ - මඩ මත, නිපජ්ජි - හොත්තේය.
නිපජ්ජිත්වා ච පන සො තාපසො ආගච්ඡන්තං දසබලං දිස්වා එවං පත්ථනං කරොති.- "ඉමිනා මෙ ජීවිතදානෙන අයං දීපඞ්කරො දසබලො විය සම්බොධිං පාපුණිතුං සක්කො භවෙය්යං, යථා අයං බුද්ධො බුද්ධභාවං පත්වා ඛීණාසවෙ පරිවාරෙත්වා ලොකස්ස ධම්මං දෙසෙන්තො විචරති. තථා අහං අපි සමත්ථො භවෙය්යං" ඉති.
තේරුම
- නිපජ්ජිත්වා ච - වැදහෙව ද, පන - වනාහි, සො - ඒ, තාපසො - තාපසයා, ආගච්ඡන්තං - එන්නාවූ, දසබලං - දසබලයන් වහන්සේ, දිස්වා - දැක, එවං - මෙසේ, පත්ථනං - පාර්ථනාවක්, කරොති - කරයි.- "ඉමිනා - මේ, මෙ - මාගේ, ජීවිතදානෙන - ජීවිත දානයෙන්, අයං - මේ, දීපඞ්කරො - දීපඞ්කර, දසබලො - දසබලයන් වහන්සේ, විය - මෙන්, සම්බොධිං - සම්බෝධියට, පාපුණිතුං - පැමිණෙන්නට, සක්කො - ශක්යයෙක් (හැක්කෙක්), භවෙය්යං - වන්නේ නම් මැනවි, යථා - යම් සේ, අයං - මේ, බුද්ධො - බුදුරජාණන් වහන්සේ, බුද්ධභාවං - බුදුබවට, පත්වා - පැමිණ, ඛීණාසවෙ - ක්ෂීණාශ්රවයන් වහන්සේලා, පරිවාරෙත්වා - පිරිවරා, ලොකස්ස - ලෝකයට, ධම්මං - ධර්මය, දෙසෙන්තො - දේශනා කරමින්, විචරති - හැසිරෙයි (වඩියි). තථා - එසේ, අහං - මම, අපි - ද, සමත්ථො - සමතෙක්, භවෙය්යං - වන්නේ නම් මැනවි" ඉති - යනුවෙනි.
දීපඞ්කරො භගවා තං ඨානං පත්වා සුමෙධ-තාපසං දිස්වා අයං තාපසො බුද්ධභාවං පත්ථෙත්වා කල්ල-මත්ථකෙ නිපජ්ජති. "සමිජ්ඣිස්සති නු ඛො ඉමස්ස පස්ථනා? උදාහු නො?" ඉති අනාගත-ඤාණෙන උපධාරෙත්වා පරිස-මජ්ඣෙ එවං ව්යාකාසි.- "අයං තාපසො ඉතො කප්පසතසහස්ස-අධිකානං චතුන්නං අසංඛෙය්යානං මත්ථකෙ ගොතමො නාම බුද්ධො භවිස්සති. පිතා සුද්ධොදනො නාම රාජා භවිස්සති, මාතා මහාමායා නාම දෙවී. සාරිපුත්තො ච මොග්ගල්ලානො ච අග්ග-සාවකා භවිස්සන්ති" ඉති.
තේරුම
- දීපඞ්කරො - දීපඞ්කර, භගවා - භාග්‍යවතුන් වහන්සේ, තං - ඒ, ඨානං - තැනට, පත්වා - පැමිණ, සුමෙධ-තාපසං - සුමේධ තාපසයාව, දිස්වා - දැක, අයං - මේ, තාපසො - තාපසයා, බුද්ධභාවං - බුදුබව, පත්ථෙත්වා - පතා, කල්ල-මත්ථකෙ - මඩ මත, නිපජ්ජති - වැද හොවියි. "සමිජ්ඣිස්සති - සමෘද්ධිමත් වන්නේ ද, නු - වනාහි, ඛො - වනාහි, ඉමස්ස - මොහුගේ, පත්ථනා- පාර්ථනාව? උදාහු - නැතහොත්, නො - නොවන්නේද?" ඉති - යැයි, අනාගත-ඤාණෙන - අනාගත ඥානයෙන්, උපධාරෙත්වා - විමසා, පරිස-මජ්ඣෙ - පිරිස මැද, එවං - මෙසේ, ව්යාකාසි - පැවසූ සේක.- "අයං - මේ, තාපසො - තාපසයා, ඉතො - මෙයින්, කප්පසතසහස්ස-අධිකානං - කල්ප ලක්ෂයක් අධික කොට ඇති, චතුන්නං - සතර, අසංඛෙය්යානං - අසඞ්ඛ්‍යයක්, (සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක්), මත්ථකෙ - මතුයෙහි, ගොතමො නාම - ගෞතම නම්, බුද්ධො - බුදුන් වහන්සේ, භවිස්සති - වන්නේය. පිතා - පියා, සුද්ධොදනො නාම - සුද්ධොදන නම්, රාජා - රජු, භවිස්සති - වන්නේය, මාතා - මව, මහාමායා නාම - මහාමායා නම්, දෙවී - දේවිය (වන්නීය). සාරිපුත්තො ච - සැරියුත් ද ( සැරියුත් තෙරුන්), මොග්ගල්ලානො ච - මුගලන් ද (මුගලන් තෙරුන්) අග්ග-සාවකා - අග්‍රශ්‍රාවකයෝ, භවිස්සන්ති - වන්නාහුය" ඉති - යනුවෙනි.
අථ තාපසො තං සුත්වා අතීව සොමනස්සො හුත්වා සම්මා සම්බොධිං තංඛණෙ එව ලද්ධං විය මඤ්ඤමානො අට්ඨාසි. මහාජනො අපි දීපඞ්කර-දසබලස්ස තං වචනං සුත්වා මහාබොධිසත්ත! යදා ත්වං බුද්ධො භවිස්සසි තදා මයං අපි තව සන්තිකා මග්ගඵලං ලභිත්වා නිබ්බාණං පාපුණිතුං සමත්ථා භවිස්සාම ඉති පත්ථනං ඨපෙසි.
තේරුම
- අථ - ඉක්බිති, තාපසො - තාපසයා, තං - එය, සුත්වා - අසා, අතීව - අතිශයින් (අති+ඉව=අතීව), සොමනස්සො - සොම්නස් ඇත්තෙක්, හුත්වා - වී, සම්මා සම්බොධිං - සම්‍යක් සම්බෝධිය, තංඛණෙ - එකෙණෙහි, එව - ම, ලද්ධං - ලබන ලද්දක්, විය - මෙන්, මඤ්ඤමානො - හඟිමින්, අට්ඨාසි - සිටියේය. මහාජනො - මහාජනයා, අපි - ද, දීපඞ්කර-දසබලස්ස - දීපඞ්කර දසබලයන් වහන්සේගේ, තං - ඒ, වචනං - වචනය, සුත්වා - අසා, මහාබොධිසත්ත! - බෝධිසත්වයන් වහන්ස!, යදා - යම් කලෙක, ත්වං - ඔබ, බුද්ධො - බුදු, භවිස්සසි - වන්නෙහි, (ද) තදා - එකල්හි, මයං - අපි, අපි - ද, තව - ඔබගේ, සන්තිකා - සමීපයෙන්, මග්ගඵලං - මගපල, ලභිත්වා - ලැබ, නිබ්බාණං - නිවනට, පාපුණිතුං - පැමිණෙන්නට, සමත්ථා - සමත්හු, භවිස්සාම - වන්නෙමු, ඉති - යැයි, පත්ථනං - ප්‍රාර්ථනාවක්, ඨපෙසි - තැබුවේය.
දීපඞ්කර-තථාගතො පන එවං සුමෙධ-තාපසස්ස නියත-විවරණං දත්වා පසංසිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. තෙ අපි ඛීණාසවා බොධිසත්තං ගන්ධෙහි ච පුප්ඵෙහි ච පූජෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. දෙවමනුස්සා ච තථා එව වන්දිත්වා පූජෙත්වා අගමංසු.
තේරුම
- දීපඞ්කර-තථාගතො - දීපඞ්කර තථාගතයන් වහන්සේ, පන - වනාහි, එවං - මෙසේ, සුමෙධ-තාපසස්ස - සුමේධ තාපසයාට, නියත-විවරණං - නියත විවරණ, දත්වා - දී, පසංසිත්වා - පසසා, පදක්ඛිණං - ප්රදක්ෂිණා, කත්වා - කොට, පක්කාමි - ගියේය (වැඩිසේක). තෙ - ඒ, අපි - ද, ඛීණාසවා - ක්ෂීණාශ්රවයන් වහන්සේලා, (ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේලා ද) බොධිසත්තං - බෝසතුන්ට, ගන්ධෙහි - ගන්ධයෙන්, ච - ද, පුප්ඵෙහි - මල්වලින්, ච - ද, පූජෙත්වා - පුදා, පදක්ඛිණං - ප්රදක්ෂිණා, කත්වා - කොට, පක්කමිංසු - වැඩියහ. දෙවමනුස්සා - දෙව්මිනිස්හු, ච - ද, තථා - එසේ, එව - ම, වන්දිත්වා - වැඳ, පූජෙත්වා - පුදා, අගමංසු - ගියහ.
එවං නියතවිවරණං උපලභිය සන්තුට්ඨො සො මහා සත්තො සකලකිලෙසෙ අභිවිජිය ධුවං බුද්ධො භවිස්සාමි ඉති සන්නිට්ඨානං කත්වා බුද්ධකාරකධම්මෙ උපධාරෙන්තො අට්ඨාසි. බුද්ධභාවං ලභිතුං ඉච්ඡන්තෙන පන පාරමීධම්මං න පරපූරිය තං ලභිතුං න සක්කා, තස්මා කෙ තෙ බුද්ධකාරක ධම්මා? ඉති උපධාරයමානො පුබ්බෙ බොධිසත්තෙහි සෙවිතං දාන-පාරමිං පඨමං අද්දස. යථා නාම උදක-ඝටො නික්කුජ්ජිතො සබ්බං උදකං පග්ඝරති, බින්දු අපි න තිට්ඨති, එවං අත්තනො ධනං වා පුත්ත-දාරං වා සරීරං වා න ඔලොකිය තං සබ්බං කපණානං ච යාචකානං ච පරිච්චජිය බුද්ධො භවිතුං සක්කා ඉති ඉමං පඨමං දාන-පාරමිං අධිට්ඨාසි.
තේරුම
- එවං - මෙසේ, නියතවිවරණං - නියත විවරණ, උපලභිය - ලැබ, සන්තුට්ඨො - සතුටු වූ, සො - ඒ, මහාසත්තො - මහාසත්වයන් වහන්සේ (බෝධිසත්වයන් වහන්සේ), සකලකිලෙසෙ - සියලු කෙලෙසුන්, අභිවිජිය - දිනා, ධුවං - ඒකාන්තයෙන්, බුද්ධො - බුදු, භවිස්සාමි - වන්නෙමි, ඉති - යැයි, සන්නිට්ඨානං - සනිටුහන්, කත්වා - කොට, බුද්ධකාරකධම්මෙ - බුද්ධකාරක ධර්ම, උපධාරෙන්තො - විමසමින්, අට්ඨාසි - සිටියේය. බුද්ධභාවං - බුදුබව, ලභිතුං - ලබන්නට, ඉච්ඡන්තෙන - කැමැත්තහු විසින්, පන - වනාහි, පාරමීධම්මං - පාරමී ධර්ම, න පරපූරිය - පරිපූර්ණය නොකොට, තං - එය, ලභිතුං - ලබන්නට, න සක්කා - නොහැකිය, තස්මා - එහෙයින්, කෙ - කවරහුද (මොනවාද) තෙ - ඒ, බුද්ධකාරකධම්මා - බුද්ධකාරක ධර්ම? ඉති - යැයි, උපධාරයමානො - විමසමින්, පුබ්බෙ - පෙර, බොධිසත්තෙහි - බෝධිසත්වයන් වහන්සේලා විසින්, සෙවිතං - සේවනය කළ (ආශ්‍රය කළ) දාන-පාරමිං - දාන පාරමිතාව, පඨමං - පළමුව, අද්දස - දුටුවේය. යථා නාම - යම් සේ වනාහි, උදක-ඝටො - දිය කළය, නික්කුජ්ජිතො - යටිකුරුව තැබූ විට, සබ්බං - සියලු, උදකං - දිය, පග්ඝරති - වැගිරෙයි, බින්දු - බින්දුවක්, අපි - ද, න තිට්ඨති - නොසිටියි (නොරැඳෙයි), එවං - මෙසේ, අත්තනො - තමාගේ, ධනං - ධනය, වා - හෝ, පුත්ත-දාරං - පුතුන්-බිරිඳ, වා - හෝ, සරීරං - ශරීරය, වා - හෝ, න ඔලොකිය - නොබලා, තං - ඒ, සබ්බං - සියල්ල, කපණානං - කෘපණයන්ට (දිළින්දන්ට), ච - ද, යාචකානං - යාචකයන්ට, ච - ද, පරිච්චජිය - පරිත්‍යාග කොට, බුද්ධො - බුදු, භවිතුං - වන්නට, සක්කා - හැකිය, ඉති - යැයි, ඉමං - මේ, පඨමං - පළමු, දාන-පාරමිං - දාන පාරමිතාව, අධිට්ඨාසි - අධිෂ්ඨාන කළේය.
අථ අඤ්ඤං අපි බුද්ධ-කාරක-ධම්මං විචිනන්තො දුතියං සීල-පාරමිං අද්දස. දිස්වා අස්සඑතං අහොසි. සුමෙධතාපස යථා නාම චමරී මිගො ජීවිතං අපි න ඔලොකිය අත්තනො වාලධිං රක්ඛති, කිකී ච අණ්ඩං රක්ඛති, තථා එව ත්වං අපි සීලං පරිරක්ඛිය බුද්ධො භවිස්සසි ඉති දුතියං සීල-පාරමිං දිස්වා තං ච දළ්හං කත්වා අධිට්ඨාසි.
තේරුම
- අථ - ඉක්බිති, අඤ්ඤං - අන්‍ය, අපි - ද, බුද්ධ-කාරක-ධම්මං - බුද්ධකාරක ධර්මයක්, විචිනන්තො - සොයමින්, දුතියං - දෙවන, සීල-පාරමිං - සීල පාරමිතාව, අද්දස - දුටුවේය. දිස්වා - දැක, අස්ස - ඔහුට, එතං - මෙය, අහොසි - විය (සිතුනේය). (ඔහුටම කියා ගනියි) සුමෙධතාපස - සුමේධ තාපසය, යථා නාම - යම් සේ, චමරී - සෙමෙර, මිගො - මුවා, ජීවිතං - ජීවිතය, අපි - ද, න ඔලොකිය - නොබලා, අත්තනො - තමාගේ, වාලධිං - වාලධිය (වලිගය) රක්ඛති - රකියි, කිකී - කිරළා, ච - ද, අණ්ඩං - බිත්තරය, රක්ඛති - රකියි, තථා - එසේ, එව - ම, ත්වං - නුඹ, අපි - ද, සීලං - සීලය, පරිරක්ඛිය - රැක, බුද්ධො - බුදු, භවිස්සසි - වන්නෙහිය, ඉති - යැයි, දුතියං - දෙවන, සීල-පාරමිං - සීල පාරමිතාව, දිස්වා - දැක, තං - එය, ච - ද, දළ්හං - දැඩි, කත්වා - කොට, අධිට්ඨාසි - අධිෂ්ඨාන කළේය.