මහාවිහාර නය හා පාලි අට්ඨකථා
මහාචාර්ය ඔලිවර් අබේනායක
බුද්ධඝෝෂ හිමියෝ සෑම අටුවාවක් ආරම්භයේදී ම පාහේ තමන් වහන්සේ මහාවිහාරයේ දේසනා නය ආශ්රයෙන් සිංහල අටුවා පාලියට පෙරලන බව පවසති. විසුද්ධිමග්ගයේ නිගමනය ගාථාවල එය මහාවිහාර නය නිශ්‍රය කරගෙන පබඳා ඇති බව ප්‍රකාශ කොට ඇත. මුල් නිකාය හතරට කරන ලද අටුවා ග්‍රන්ථවලදී උන්වහන්සේ මෙසේ කියති. "හෙල බස ඉවත් කොට පුනරුක්ත වර්ණනා අත් හැර මහාවිහාරවාසීන්ගේ මතයත් අත් නොහැර අටුවා ලියන්නෙමි." බුද්ධඝෝෂ හිමියන් මතු නොව අනෙක් අටුවා ඇදුරෝද තම තමන් මහාවිහාර සම්ප්රදාය නොපිරිසිඳ අටුවා කරණයෙහි නියැලෙන බව ඒ ඒ අටුවා ග්රන්ථ ආරම්භයේදීම ප්‍රකාශ කරති. ධම්මපාල හිමියෝ ස්වකීය අටුවා ග්‍රන්ථවලදී "පිරිසිදු, සංකීර්ණ නොවූ, නිපුණ අර්ථ විනිශ්චය ඇති මහාවිහාර වාසීන්ගේ සමය විලෝමය නොකොට" සිංහල අටුවා පාලියට පෙරලන බව පවසති. මහානාම හිමියන් කළ පටිසම්භිදා අටුවාවේදී මේ බව ගම්‍ය කෙරෙන ප්‍රකාශයක් දක්නට ලැබේ. බුද්ධදත්ත හිමියන්ගේ බුද්ධවංසට්ඨකථාවේ දී එය මහාවිහාරගත පාලිමාර්ගය සන්නිශ්‍රිත කොට ඇති බව කියවේ. උපසේන හිමියන් කළ මහානිද්දේස අටුවාවද මහාවිහාර වාසීන්ගේ සජ්ඣායනයෙහි පිහිටා රචනා කොට ඇති බව ආරම්භක ගාථාවල සඳහන් වී ඇත. මෙසේ සියලු අටුවා ඇදුරෝ මහාවිහාර මාර්ගයෙන් ඉවතට නොයා අටුවා පෙරළීමෙහි නියැලෙන බවට සපථ කරති.
ලක්දිව බුදුසසුන පිහිටුවා ලීමෙන් පසු මෙහි අරඹන ලද ප්‍රථම ආරාමය මහාවිහාර නමින් හැඳින්වේ. එය පිහිටුවන ලද්දේ මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවන පෑතිස් රජු විසිනි. එතැන් පටන් ලක්දිව පමණක් නොව ථෙරවාද ලෝකයේම ප්රමුඛ බෞද්ධ මධ්‍යස්ථානය වූයේ මෙම මහාවිහාරය ය. එහි පිරිසිදු බුදුදහම ආරක්ෂා විණැයි සලකන ලදී. මහාවිහාරවාසී භික්ෂූහු විනයානුකූලව ජීවත් වෙමින් නිකායාන්තරික මතවාද වලින් බුදුදහම දූෂණය වීම වලකමින් මහත් මෙහෙයක් ඉටු කළහ. ඔවුහු පාලි භාෂාවෙන් පමණක් ධර්මය තැබූහ. පාලිය මූල භාෂාව වශයෙන් සලකන ලදින් සංස්කෘත වැනි අන් බසකින් ධර්මය හැදෑරීම, ලිවීම, ඉගැන්වීම මහාවිහාර භික්ෂූන්ට රුචි නොවීය. පෙළට අළුත් අර්ථකථන ඉදිරිපත් කිරීමටත් අලුතින් දිවයිනට පැමිණි මතවාද ඉවසීමටත් මහාවිහාරය සූදානම් වූයේ නැත. මහාවිහාරය පෙල දහම ආරක්ෂා කර ගැනීමට ගත් අභීත උත්සාහය, ඒ සඳහා විඳි අපමණ දුක්, කරන ලද පරිත්‍යාග මේ දිවයිනේ වංසකථාවලද පාලි අටුවා ග්රන්ථවලද සටහන් වී ඇත. පිටතින් පැමිණෙන්නවුන් ගැන කොතරම් පරෙස්සමකින් කටයුතු කළාද යත් බුද්ධඝෝෂ හිමියන් පවා මහාවිහාරයේ පරීක්ෂණයකට භාජනය විය. බුද්ධඝෝෂ හිමියන්ගේ නිපුණත්වයත් මුල් බුදුසමයටඇති පක්ෂපාතිත්යත් මහාවිහාරයට දැක්වූ ලැදියාවත් තේරුම් ගත් පසු පමණි උන්වහන්සේට පවා මහාවිහාරයේ පොතපත සපුරා පරිශීලනය කිරීමට අවකාශ ලැබුණේ. අනෙක් අයද බුද්ධඝෝෂ හිමියන් මෙන් මහාවිහාරයේ පරීක්ෂණවලට බඳුන් වන්නට ඇත. පිටත සිට පැමිණි මෙහි සුරැකි පිරිසිදු බුදුදහම නොයෙක් මතවාද වලින් දූෂණය කරනු දකින්නට මහාවිහාරය කැමැති නොවීය. අර්ථකථාචාර්යයෝ මේ බව මැනවින් තේරුම් ගත්හ. මහාවිහාරයේ අදහසට අනුකූල ප්‍රතිඥාවක් ඔවුන්ගෙන් අවශ්‍ය විය. ඉහතින් දක්වන ලද්දේ ඔවුන් විසින් දෙන ලද ඒ ප්රතිඥාවය.
එදවස පැවති හෙලටුවා පාලියට එලෙසම පරිවර්තනය කිරීම අටුවා ලියූ අයගේ පරමාර්ථය විණිනම් ඉහත කී පරිද්දෙන් මහාවිහාර නය අත් නොහැර රකින බවට ප්‍රකාශයක් කිරීම අවශ්‍ය වන්නේනැත. පරිවර්තකයාගේ කාර්යය මුල් පිටපතෙහි ඇති දේ අන් බසකට නැඟීම පමණක් හෙයිනි. පාලි අටුවාකරණය හුදු පරිවර්තන කාර්යයක් වශයෙන් ගැනීම ප්‍රමාණවත් නොවේ. මේ කාර්යයේදී බුද්ධඝෝෂාදී අටුවා ඇදුරන් ක්‍රියා කළේ පරිවර්තකයන් හැටියට පමණක් නොවේ. අර්ථකථකයන් හැටියටද උන්වහන්සේලා නොමඳ සේවයක් කළහ. සමන්තපාසාදිකා නිදාන කථාවේදී බුද්ධඝෝෂ හිමියෝ තමාගේ කාර්යය මෙසේ දක්වති. “මහාඅට්ඨකථාව ශරීරය කොට ගෙන මහාපච්චරී කුරුන්දි ආදි විශ්‍රැත අට්ඨකථාවන්හි යම් විනිශ්චයක් වේද එහි යුක්තාර්ථය ගෙන ඒවායේ ඇති ස්ථවිරවාදය ද අත් නොහරිමින් සංවර්ණනය හොඳින් ආරම්භ කරන්නෙමි. තවද එම අට්ඨකථාවල භාෂාන්තරය පමණක් අත්හැර විස්තර තැන් පිඬු කොට සියලුම විනිශ්චයන් ඇතුළත් කොට කිසිම තන්ති ක්‍රමයක් නොඉක්මවා සංවර්ණනා කරන්නෙමි." බුද්ධඝෝෂ හිමියන්ගේ උත්සාහය හුදු පරිවර්තන කාර්යයට වඩා වැඩි එක්ක බව මේ ප්‍රකාශයෙන් මැනවින් පෙනේ. අනවශ්‍ය දේ මඟ හැරීමටත්, සවිස්තර තැන් සංක්ෂේපයෙන් දැක්වීමටත් උන්වහන්සෙට නිදහස තිබුණේය. දැනට තිබෙන පාලි අටුවා හුදු පරිවර්තන නොවන බව එම අටුවාවල තැනින් තැන එන, "තෙනාහු අට්ඨකචාරියා", "අට්ඨකථාචරිය පනාහු", "අට්ඨකථායං පන වුත්තං", යන යෙදුම් වලින් පෙනේ. හෙලටුවාවල ආ අදහස් එසේම පාලි අටුවාවලත් ගෙන හැර දැක්වීමට නම් මෙබඳු යෙදුම් අවශ්‍ය නැත. මෙබඳු යෙදුම් අවශ්‍ය වන්නේ එක්කෝ හෙලටුවාවල නොතිබුණු පැරණි අටුවා සම්ප්‍රදායට අයත් අදහස් දැක්වීමටය. නැතිනම් හෙලටුවා වල එන අදහස් එපරිද්දෙන් පරිවර්තනය නොකොට එම අදහස් ගෙන තමාට මනාප පරිද්දෙන් ඉදිරිපත් කිරීමටය. මේ නිසා දැනට පවතින පාලි අටුවා හෙලටුවාවල පරිවර්තනම නොව ඒවායේ අදහස් මූලාශ්‍රය කොට ගෙන (ඇතැම් තැනෙක පරිවර්තනය ද කෙරෙමින්) සෑහෙන ස්වාධීනතායෙකින් පෙල දහම පැහැදිලි කරන්නට ලියන ලද විවරණ ග්රන්ථ වශයෙන් හැඳින්විය හැකිය. අර්ථකථාචාර්යයන් මහාවිහාර නය නිශ්‍රය කර ගන්නෙමු යයි පුන පුනා කීයේද මේ හෙයින් විය යුතුය.
මහාවිහාරයේ ආශීර්වාදය නොඅඩුව ලබාගන්නට මෙන් මහාවිහාර ක්‍රමය ම අනුගමනය කරන බවට ප්‍රතිඥා කරතත් මේ තත්ත්වය යටතේ ඒ ප්රතිඥාවෙහි එල්බ සිටීමට අටුවා ඇදුරන්ට පුළුවන් වූයේ නැත. මහාවිහාරයට ප්රතිපක්ෂ වුවද අටුවාකරණයේදී තමන් සතු ඤාණ සම්භාරය අනලස්ව උපයෝගි කර ගැනීමට අටුවා ඇදුරෝ ඉදිරිපත් වූහ. එහෙයින් මහාවිහාර නයට ඇතුළත් නොවූ අදහස් පමණක් නොව සපුරා එයට ප්රතිපක්ෂ අදහස් ද පාලි අටුවා ග්රන්ථවලට ප්‍රවිෂ්ට විය. මෙහිදී අපේ පරමාර්ථය ඒ පිළිබඳ ව සැකෙවින් විමසීමය. පාලි අටුවා නිතර, "තෙනාහු පොරාණා", "කෙචි වදන්ති", "එකච්චෙ වදන්ති", "අපරෙ වදන්ති", "අඤ්ඤෙ වදන්ති", "අපරෙ පන ආහු", "යො පන වදෙය්ය" යන යෙදුම් දැකිය හැකිය. මේ යෙදුම්වලට පසුව දැක්වෙන අදහස් මහාවිහාරවාසීන්ගේ අදහස් වශයෙන් ගණන් ගත නොහැකිය. මහාවිහාර නය සංග්‍රහ කරන කෘතියක මෙවැනි යෙදුම් යටතේ යළි යළිත් මහාවිහාර නයම උපුටා දැක්වීම අවශ්‍ය හෙයිනි. එහෙයින් ඉහත කී ‘එකච්චෙ‘ යනාදි පදවලින් අදහස් කරන්නේ මහාවිහාර නයට අමතර නය ක්‍රමයක් ගත් අය විය යුතුය. ඔවුන් වරෙක මහාවිහාරය සමග එකඟ වන්නට ඇත. වරෙක එකඟ නොවන්නට ඇත. මේ පද වලින් නිකායාන්තරිකයන්, සමහර විට අභයගිරික ආචාර්යවරයන්, එසමයෙහි ලක්දිව නොයෙක් පළාත්වල ප්රකටව විසූ මහතෙරවරුන් ගණන් ගැණුනා විය හැකිය. මෙකී හැම දෙනම මහාවිහාරික න්යායාචාර්යවරු නොවූහ. අනෙක් අතට ඇතැම් සම්ප්‍රදායන් නිසැක ලෙසම ඉන්දියාවේ ප්‍රභව වී වැඩි දියුණු වී පසුව ලංකාවට ආ ඒවාය. පෝරාණයනුත් භාණකයනුත් මීට හොඳම උදාහරණය. පාලි අටුවාවල එන පොරාණ මත හා භාණක මත මහාවිහාර නය යයි කිව හැකිද? ඒවායින් කියැවෙන්නේ ඉන්දියානු නය ක්රමයන්ය. මෙයින් ඇතැම් මත මහාවිහාරය පිළිගත්තාට සැකයක් නැත. ඒ අතරම ඇතැම් මත මහාවිහාරය මඟින් ප්‍රතික්ෂේප කරන්නට ඇත. භාණක පරම්පරා අතර නොයෙක් මතභේද විය. ඒවා පාලි අටුවාවල ඒ ආකාරයෙන්ම සටහන් කෙරුණි. ඉන් අදහස් වන්නේ ඒ අනුව මහාවිහාරය තුළත් එම මතභේද තිබුණු බවද? බුද්ධඝෝෂ හිමියෝද ඇතැම් තැනෙක මෙකී සම්ප්‍රදායවලට අයත් මත ප්‍රතික්ෂේප කළහ. මනෝරථපූරණියේ එක් තැනකදී පොරාණකථෙර මතය ඉවත දමා මුල් අටුවාචාරීන්ගේ මතය පිළිගැනීමෙන් ඒ බව තහවුරු වේ. එමෙන්ම පාලි අටුවාවල "පොරාණකත්ථෙරා", "පුබ්බාචරියා", "පොරාණාචරියා", "අට්ඨකථාචරියා" යන තෙරුන් හා ආචාර්යවරුන් ගැන නොයෙක් විට සඳහන් වේ. මේ පද වලින් කියැවෙන්නේ එක එක ස්වාධීන ආචාර්ය පරම්පරාය. මේ ආචාර්ය පරම්පරා මහාවිහාරය පිහිටුවීමටත් පෙර සිටම ධර්මවිනය පිළිබඳ නොයෙක් මතවාද ඉදිරිපත් කරමින් සිටි අයය. මහාවිහාරය නොයෙක් කරුණු උරුම කොට ගන්නේ එම ආචාර්ය පරම්පරාවලිනි.
පාලි අටුවාවල ගොදත්ත, මහාසිව, මහාතිස්ස, මහාසුම්ම ආදී තෙරවරුන්ගේ මත සඳහන් වේ. උන්වහන්සේලාගෙන් ඇතමෙක් රුහුණු වැසියෝය; උන්වහන්සේලා වාසය කළේ එක්කෝ තුලාධර පබ්බතයේය; නැතිනම් තිස්සමහාවිහාරයේය. ඒ හැර ලක්දිව නොයෙක් ප්‍රදේශවල විසූ මෙවැනි මහතෙරවරුන්ගේ අදහස් අටුවා ග්‍රන්ථවල උපුටා දක්වා ඇත. නිතරම මේ තෙරුන් ගැන කථා කොට ඇත්තේ ප්‍රශංසා මුඛයෙනි. මේ අන්දමට නම් සඳහන් වන මහතෙරවරුන්ගෙන් කිහිප දෙනෙක් වත් බුද්ධඝෝෂ හිමියන්ට ඇසුරු කරන්නට ලැබුණු සමකාලීන අය විය යුතුය. මේ මහතෙරවරුන් මහාවිහාරයෙන් පිටත දුර බැහැර පෙදෙස්වල ජීවත් වූ අය නිසා නිතර ම මහාවිහාර සම්ප්රදාය පිළිගත්තේදැයි සැක සහිතය. උන්වහන්සේලා මහාවිහාර සාම්ප්රදායිකයෝ ම නම් මෙසේ නිතර විශේෂයෙන් නම් කියා උපුටා දක්වනනට උවමනා නැත.
බුද්ධඝෝෂ හිමියන් ලක්දිව සිටි කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නට ඇත්තේ අනුරාධපුරයෙහි බවට සැකයක් නැත. එතෙකුදු වුවත් උන්වහන්සේ ලංකාවේ නොයෙක් පළාත්වල අවකාශ ලත් පරිද්දෙන් සංචාරය කළ බව සිතා ගත හැකිය. ඉන්දියාවේ සිට ලක්දිවට පැමිණි විසාක සහ පීතිමල්ල යන දෙදෙනා මුලින් අනුරාධපුරයේ සිට පසුව රුහුණට ගියහයි අටුවා ග්රන්ථවලම සඳහන් වේ. මේ අයුරින් බුද්ධඝෝෂ හිමියන් ද ධර්මය සොයා ලක්දිව නොයෙක් පළාත්වලට වඩින්නට ඇත. අනුරපුර මහාවිහාරයට නොදෙවෙනි ශාස්ත්රපීඨ රුහුණේ තිස්සාරාමයේත් සිතුල් පව්වේත් විසූ ධර්මධර විනයධර මහතෙරවරුන් මුණ ගැසෙන්නට හෝ බුද්ධඝෝෂ හිමියන් රුහුණට වඩින්නට ඇත. අංගුත්තරනිකාය අටුවාවෙහි එන ලක්දිව හා සබැඳි පුවත්වලින් අඩකටත් වැඩි කොටසක් රුහුණු රට හා සම්බන්ධ නිසා එම අටුවාව රුහුණු ප්‍රදේශයේදී රචනා කර අවසන් කරන්නට ඇති බව අදිකාරම් මහතා පවසයි. මෙම මතය සත්‍ය නම් අනුරපුර මහාවිහාරයෙන් පිටත වෙනත් මධ්‍යස්ථානවලදී ද අටුවා රචනා කරන්නට ඇති බව පෙනේ. එම මධ්‍යස්ථානවල විසූ අය නියතයෙන්ම මහාවිහාර මත එහැම පිටින් පිළිගත්තාදැයි කීම අපහසුය. විශේෂයෙන්ම ආදි කාලයේ පටන් විවිධ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන සම්ප්රදායක් රුහුණු ප්‍රදේශයේ වූ බව සිතා ගැනීමට කරුණු තිබේ. මේ ශාස්ත්‍රීය සම්ප්රදාය අනුගමනය කරමින් ලියැවුණු පොතපත පසු කලෙක අභාවයට යන්නට ඇතත් ඒ පිළිබඳ නෂ්ටාවශේෂ වශයෙන් ලලාට (නලාට) ධාතුවංස වැනි පොතක් දැක්විය හැකිය. රුහුණු ප්‍රදේශයේ ස්වාධීන සාහිත්‍යයික සම්ප්රදායක් වූ බව සිතා ගන්නට මේ පොතින් සාක්ෂ්‍ය සැපයේ. අනුරපුර සම්ප්රදායේ මහාවංස දීපවංස වැනි පොත්වල ද්කනට නැති කරුණු කිහිපයක් මේ ලලාට (නලාට) ධාතුවංසයේ දක්නට ඇත. බුද්ධඝෝෂ හිමියන්ට මනෝරථපූරණීය රචනා කිරීමේදී අනුරපුර මහාවිහාරය පමණක් නොව මෙකී රුහුණු සම්ප්‍රදායත් බෙහෙවින් බලපාන්නට ඇත.
අට්ඨකථාකරණයේදී අර්ථකථාචාර්යයන් ග්රන්ථ රාශියක් මූලාශ්‍රය කරගත් බව අපි දනිමු. නිසැකයෙන් ම මහාවිහාර නයෙහි ලා සැලකිය නොහැකි ග්රන්ථ කිහිපයක් ඒ අතර විය.
බුද්ධඝෝෂ හිමියන් පරිශීලනය කළ මූලාශ්‍රය අතර අන්ධට්ඨකථා නම් ග්රන්ථයක් වූ බව ප්රකටය. එය දකුණු ඉන්දියාවේ කාංචි පුරයේ ආන්ධ්‍ර භාෂාවෙන් රචිත ග්රන්ථයක් වශයෙන් සැලකේ. මේ ග්‍රන්ථය මහාවිහාරවාසීන් විසින් අධ්‍යයනය කරන ලද්දක් විය නොහැකිය. එය ලංකාවට හඳුන්වා දෙන්නට ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසිනි.
තවද, බුද්ධඝෝෂ හිමියෝ පේටකෝපදේස, නෙත්තිප්පකරණ, මිලින්දපඤ්හ යන කෘති තුනම තමන්ගේ කාර්යයේදී මූලාශ්‍රය කොට ගනිති. මේ ග්රන්ථ තුනම ඉන්දියාවේ රචනා වූ ඒවාය. ඉන් පේටකෝපදේසයත් නෙත්තිප්පකරණයත් ථෙරවාද සම්ප්‍රදායට අයත් කෘති වුවද මහාවිහාර නය සංගෘහිත කෘති වශයෙන් නො සැලකිය නොහේ. පේටකෝපදේසයෙහි සහ නෙත්තිප්පකරණයෙහි නිර්දිෂ්ට නය මාර්ගය ලාංකික සිසු පරපුර තුළ නොමඳ සැලකිල්ලට භාජනය වූ නියාවක් පෙනෙන්ට නැත. මෙරට සාම්ප්‍රදායික ධර්ම අධ්‍යයනය තුළ මේ ග්රන්ථ සුසම්භාවිත විණි නම් ඒ ග්රන්ථවලින් හෙලිදරව් කරන ලද නය ක්‍රමය මෙරට පෞරාණික අධ්‍යාපන ක්ෂේත්රයෙන් ගිලිහී යන්නේ නැත. මේ අනුව පේටක නයත් නෙත්ති නයත් මහාවිහාරයේ අධ්‍යයන පරිපාටිය තුළ වැදගත් තැනක් නොඉසුලූ බව තීරණය කරන්නට සිදු වේ. එහෙත් බුද්ධඝෝෂ හිමියෝ ඒවා ප්‍රමාණ ග්රන්ථ වශයෙන් පිළිගනිති. හාර්ඩ් මහතා බුදුගොස් හිමියන් නෙත්තිප්පරණය ගැන දැන සිටියේ නැතැයි පවසා ඇතත් තිර වශයෙන් ම උන්වහන්සේ ඒ ගැන දැන සිටි බව මජ්ඣිමනිකාය අටුවාවෙන් පෙනේ. එහි ඉගැන්වෙන ලක්ඛණ නම් හාරය ගැන මජ්ඣිමනිකාය අටුවාව සඳහන් කොට ඇත. පේටකෝපදේසයෙන් උපුටා ගත් පාඨ බුද්ධඝෝෂ කෘතිවල නොයෙක් තැන දක්නට ලැබේ.
මිළින්දපඤ්හය පිළිබඳ තත්ත්වය මීට වෙනස්ය. එය ථෙරවාද ධර්ම ග්රන්ථයක් වශයෙන් පුරාණයේ පටන් ම මෙරට භාවිත විය. එය ඉන්දියාවේ රචිත ග්රන්ථයකි. එපමණක් නොව මිලින්දපඤ්හයේ මුල් පිටපත සංස්කෘත භාෂාවෙන් තිබෙන්නට ඇති බවත් එය පසුව පාලියට පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන මිලින්දපඤ්හඇති වූ බවත් විචාරකයෝ පෙන්වා දෙති. මිලින්දපඤ්හ කතුවරයා කිසියම් මහායානික ආචාර්යවරයෙකු විය හැකි බවත් මහායානිකයෙකු විසින් රචනා කරන ලදුව ථෙරවාදීන් විසින් පිළිගත් එකම ග්‍රන්ථය මෙය විය හැකි බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දෙති. එසේ වන්නට ඇත්තේ ස්ථවිරවාදයට අනුකූල අදහස් එහි ගැබ් වී තිබීම හේතුවෙනි. එහෙත් මුල් ත්‍රිපිටක කෘතිවලින් සනාථ නොවන අදහස් රාශියක් ම මිලින්දපඤ්හයේ ඇති බව නොරහසකි. මේ අනුව මිලින්දපඤ්හය නියත වශයෙන්ම මහාවිහාර නයෙහි ලා සංග්‍රහ කළ නොහැකි ග්රන්ථයකි. එහෙත් බුද්ධඝෝෂ හිමියෝ සුමංගලවිලාසිනියේ අම්බට්ඨසුත්තවණ්ණනාවේදී හා මහාපරිනිබ්බානසුත්තවණ්ණනාවේදීත් පපඤ්චසූදනියේ බ්රහ්මායුවණ්ණනාවේදීත් මනොරථපූරණී, ධම්මපදට්ඨකථා සහ විභංගට්ඨකථා යන කෘතිවලදීත් මිලින්දපඤ්හයේ පාඨ ගෙන හැර දක්වමින් ධර්ම කරුණු විවරණය කරති. පේටකෝපදේසයටත් නෙත්තිප්පකරණයටත් වඩා වැඩි වශයෙන් මිලින්දපඤ්හය උන්වහන්සේ ප්‍රමාණ කොට ගත් බව අටුවා කෘති පරීක්ෂා කිරීමේදී මැනවින් පෙනී යන කරුණකි.
පාලි අටුවා ලිවීමේදී නිශ්‍රය කරගත් තවත් බොහෝ ග්රන්ථ පිළිබඳව අටුවාවලින් සාධක සැපයේ. ධම්මසංඛෙප, සීහලභාසානමක්කාරවණ්ණනා, විසුද්ධිකථා, අරියවංසකථා, උත්තරචුල්ලභාජනීය, බොජ්ඣංගසංයුත්තඋපදෙස, භූමිචාලවිජ්ජා, පවෙණිකථා, සුපිනසත්ථ, මණිලක්ඛණසත්ථ යනු ඉන් සමහරකි. මේ සියල්ල මහාවිහාර සම්ප්‍රදායට අයත් ග්‍රන්ථයයි කිසසේත් තීරණය කළ නොහැකිය. විනය ගරුක, මුල් බුදුසමයට අනුරූප ලෙස දිවි ගෙවූ මහාවිහාර භික්ෂූන් සුපිනසත්ථ, මණිලක්ඛණසත්ථ, භූමිචාලවිජ්ජා වැනි ග්රන්ථවලින් විස්තර වුණු ගර්හිත විද්‍යා, ගැන අවධානය යොමු කරන්නට ඇතැයි සිතිය හැකි නොවේ. පැහැදිලි ලෙසම මහාවිහාරය විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි සිතිය හැකි වණ්ණපිටක, අංගුලිමාලපිටක, රට්ඨපාලගජ්ජිත, ආලවකගජ්ජිත, ගූළ්හ උම්මග්ග, ගූළ්හ වෙස්සන්තර, ගූළ්හ විනය, වෙතුල්ලපිටක යන ග්රන්ථ පාලි අට්ඨකථා මූලාශ්‍රය වශයෙන් භාවිත විය. මේ ග්රන්ථ පෙළට පටහැනි හෙයින් ප්‍රතික්ෂේප කළ යුතුය කියා කිසිදු අටුවාවක උපදෙස් දී නැත. උපදෙස් දී ඇත්තේ රාග ප්රහාණය සඳහා සුදුසු නොවේ නම් ප්‍රතික්ෂේප කරන ලෙසය. නිකාය සංග්‍රහය පවසන අන්දමට මේවා හෙමතික, රාජගිරික, සිද්දත්ථක, පුබ්බසෙලිය, අපරසෙලිය, වාජිරිය, යන නිකායවලට අයත් කෘතීන්ය. ථෙරවාදයෙන් පරිබාහිර අනෙක් විවිධ බෞද්ධ නිකායවලට අයත් සාහිත්‍යය සහ අදහස් උදහස් අර්ථකථාචාර්යයන්ගේ සැලකිල්ලට භාජනය වූ බවට මේ හැර තවත් සාධක තිබේ. මේ පිළිබඳ පැහැදිලි නිදර්ශන කථාවත්ථු අටුවාවෙන් දත හැකිය. කථාවත්ථුප්පකරණය නිවැරදිව නිරාකූලව තේරුම් ගැනීමට නම් කථාවත්ථු අටුවාව නැතිවම බැරිය. කථාවත්ථුවේ එන විවිධ අදහස් කවර බෞද්ධ නිකායකට අයත්දැයි දැක්වෙන්නේ කථාවත්ථු අටුවාවේය. එවක පැවති සියලු බෞද්ධ නිකායන් පිළිබඳ බුද්ධඝෝෂ හිමියන්ට අනල්ප අවබෝධයක් තිබුණු බව එයින් ස්ඵුට වේ. විසුද්ධිමග්ගයේ සංඝානුස්සති නිද්දේසයේදී ද නිකායාන්තරිකයනට සඳහනක් ඇත. "ආහුණෙය්‍ය" යන පදය වෙනුවට නිකායාන්තරයෙහි ඇත්තේ "ආහවනීය" යන පදය යයි එහි කියා ඇත. මෙතැන්හිදි බුදුගොස් හිමියෝ නිකායාන්තරික පදය ප්‍රතික්ෂේප නොකරති. පිළිගන්නැයි ද වෙසෙසා නොකියති. එය සටහනක් කොට තැබීමට තරම් වැදගත් සේ උන්වහන්සේ සැලකූහ. තවද විසුද්ධිමග්ගයේ ඛන්ධනිද්දේසයේ "සමහරු (කෙචි) චක්ඛුප්පසාදය තේජෝධාතුව අධික කොට ඇති භූතයන්ගේ ප්‍රසාදය ලක්ෂණය කොට ඇතැයි පවසති"යි සඳහන් වේ. මෙහි සමහරු (කෙචි) යන්නෙන් මහාසාංඝිකයින් අදහස් වන බව පැවසේ. මහාවිහාරය නිතර ප්‍රතික්ෂේප කළ නිකායාන්තරික අදහස් පිළිබඳ අවදිකමක් අටුවා ඇදුරන්ට තිබුණු බව මින් ද පෙනේ. ථෙරවාදීන් පිළිගත් කථාවත්ථුප්පකරණය වෙනුවට විතණ්ඩවාදීහු මහාධම්මහදය නම් වූ ග්‍රන්ථය හෝ මහාධාතුකථා නම් ග්‍රන්ථය ගණන් ගෙන අභිධර්ම පිටකයේ සප්තප්‍රකරණය සම්පූර්ණ කළහයි අත්ථසාලිනියේ දැක්වේ. මෙතැන විතණ්ඩවාදී නමින් අදහස් කළේ කිසියම් බෞද්ධ නිකායක් බව පැහැදිලිය. කථාවත්ථුව හැර අනෙක් අභිධර්ම ප්රකරණ ඔවුන් විසින් පිළිගැනීමෙන් ම ඒ බව ඔප්පු වේ.
ලක්දිව වැඩ වාසය කරන සමයේදී පවා බුද්ධඝෝෂ හිමියන් අනෙක් නිකායාන්තරිකයන් සමග සබඳකම් පැවැත්වූ බව පෙනේ. උන්වහන්සේට ජාතකට්ඨකථාව ලියන්නට ආරාධනා කළ තෙරුන් තිදෙනාගෙන් කෙනෙකු වන බුද්ධදේව හිමියන් මහිංසාසක නිකායට අයත් යයි අටුවාවේම සඳහන් වේ. මේ සමයේදී ම වාගේ ලක්දිවට සැපත් පාහියන් ලංකාවෙන් මහිසංසාක නිකායට අයත් විනය පිටකයක් ගෙන ගිය බවද මෙහිලා සිහියට ගැනීම වටී. මහාවිහාරයේ වසමින් වුවද අනෙක් නිකායිකයන් ආශ්‍රය කිරීමටත් ඔවුන්ගේ ධර්මාන්තර අධ්‍යයන කිරීමටත් බුද්ධඝෝෂ හිමියෝ පසුබට නොවූහ.
වේද හා බ්‍රාහ්මණ සාහිත්‍යය පිළිබඳ මහාවිහාර සම්ප්රදාය තුළ කිසියම් අවධානයක් තිබුණු බවට සාධක දක්නට නැත. ඒවා මුල් බුදුසමයට ප්රතිපක්ෂ ධර්ම වශයෙන් පිළිගත් බව සිතා ගත හැකිය. එපමණක් නොව සංස්කෘත භාෂාවට පවා මහාවිහාරය තුළ එතරම් පිළිගැනීමක් නොවීය. අට්ඨකථාකරණය සඳහා ලක්දිවට පැමිණි අට්ඨකථාචාර්යයන් වහන්සේලාගේ තත්ත්වය එය නොවීය. ඔවුන්ගෙන් ඇතැම් කෙනෙක් බ්‍රාහ්මණයෝ වූ අතර සියලු දෙනාම පාහේ වේද සහ වේදාංග ශික්ෂණය ලත් අය වූහ. මේ දැනුම අට්ඨකථා පිළියෙළ කිරීමේදී ඔවුන්ට බෙහෙවින් උපකාර වන්නට ඇත. සුදුසු තැන ඒ අදහස් බහාලන්නටත් සුදුසු තැන ඒවා ප්‍රතික්ෂේප කරන්නටත් තවත් තැනෙක ඒවා විවේචනය කරන්නටත් අර්ථකථාචාර්යයෝ ඉදිරිපත් වූහ.
සුමංගලවිලාසිනියේ අම්බට්ඨසුත්තවණ්ණනාවේදී වේදත්රයේම දක්නට නැති කරුණක් බුදුගොස් හිමියෝ ගෙන හැර පාති. අටුවාවල ඇතැම් තැනෙක ඇතැම් පාලි පදයන්ට බ්‍රාහ්මණ ඉගැන්වීම් ආශ්රයෙන් අර්ථ දී ඇත. උදාහරණ වශයෙන් සුමංගලවිලාසිනියේ එන පහත දැක්වෙන පාඨ දැක්විය හැකිය. 1.බ්රාහ්මණොති බ්රහ්මෙ අණතීති බ්රාහ්මණො මන්තෙ සජ්ඣායන්තීති අත්ථො. අරියා පන බාහිතපාපත්තා බ්රාහ්මණාති වුච්චති. 2. වෙදං වුච්චති චතුසු අරියසච්චෙසු ඤාණං විදන්ති එතෙනාති වෙදො. ඤාණස්සෙතං අධිවචනං. "බන්ධුපාදපච්චා" යන පාලි පදයට අර්ථ සපයමින් බ්‍රාහ්මණයන් අතර පැවති ලබ්ධියක් ගෙන හැර දැක්වීමට සුමංගලවිලාසිනියේදීත් පපඤ්චසූදනියේදීත් බුද්ධඝෝෂ හිමියෝ ඉඩ ප්රස්ථා ලබා ගනිති. පපඤ්චසූදනියේ එන "ඤාණිහු" යන පදයට කළ අර්ථකථනයද බ්‍රාහ්මණ සාහිත්‍යයෙන් උපුටා ගත් එකකි. වාජපෙය්‍ය, සම්මාපාසය යන වචනවලට බුද්ධඝෝෂ හිමියන් දී ඇති අර්ථ ගෞතම සූත්‍රයත්, ශතපථ බ්‍රාහ්මණයත් ළඟ තබාගෙන දී ඇති තරමට ඒවා හා සැසඳේ යයි බාපත් මහතා පෙන්වා දී ඇත. මේ අනුව යටත් පිරිසෙයින් බුද්ධඝෝෂ හිමියන් වත් අටුවා සකස් කිරීමේදී බ්‍රාහ්මණ සාහිත්‍යයත් තදනුගත අර්ථක්රමයත් උපයෝගී කරගත් බව සිතිය යුතු වේ.
මේ හැර අවශේෂ සංස්කෘත සාහිත්යයෙනුදු අටුවා ඇදුරෝ නොමඳ ආභාසයක් ලබා ගත්හ. මහාවිහාර අධ්‍යයන පරිපාටිය තුළ කිසිසේත් ගණන් නොගැණුනු එවැනි ග්රන්ථ රාශියක් පාලි අටුවාවල මූලාශ්‍රය විය.
මහාභාරතයත් රාමායණයත් ගැන බුද්ධඝෝෂ හිමියෝ දැන සිටියහ. භරත යුද්ධයත් සීතාහරණයන් උදාහරණ වශයෙන් මතක් කළහ. උන්වහන්සේ මේ කරුණු ලේඛනාරූඪ කරන්නේ සුමංගලවිලාසිනියේ දෙතිස් කථා පිළිබඳ විස්තරයේදීය. ජාතකට්ඨකථාවේදීද රාමායණ කථා පුවත් මතක් කොට ඇත. විසුද්ධිමග්ගයේ ඉන්ද්රියසච්ච නිද්දේසයේ එන ඉන්ද්රිය ශබ්දයාගේ විග්‍රහය එහැම පිටින්ම පාණිනී ව්‍යාකරණයෙන් උපුටා ගෙන ඇත. (ස)රණ ශබ්දයට අත්ථසාලිනියේත් මනෝරථපූරණියෙත් පපඤ්චසූදනියෙත් දී ඇති අර්ථ විග්රහයට අභිධර්මකෝෂයේ "සරණ" ශබ්දයට දී ඇති විග්‍රහය කෙළින්ම බලපා ඇත. නාගර්ජුනගේ මූලමාධ්යමිකකාරිකාවෙන් උපුටාගත් ගාථා හා පාඨ කිහිපයක්ම විසුද්ධිමාර්ගයේ හා පපඤ්චසූදනියේ ඇත.
මූලමාධ්‍යමිකකාරිකා
1. යථා මායා යථා ස්වප්නො - ගන්ධර්වනගරං යථා
තථොත්පාදස්තථා ස්ථානං - තථා භංග උදාහත:
විසුද්ධිමග්ග
මායාමරීචි-සුපිනන්ත-අලාතචක්ක-ගන්ධබ්බනගර වෙණිකදලි ආදයො විය අසාරො.
මූලමාධ්‍යමිකකාරිකා
2. කාල: පචති භූතානි - කාල: සංහරතෙ ප්‍රජා:
කාල: සුප්තෙසු ජාගර්ති - කාලො හි දුරතික්රම:
විසුද්ධිමග්ග
කාලො කරොති භූතානි - කාලො සංහරතී පජා
කාලො සුත්තෙසු ජාගරති - කාලොහි දුරතික්කමො
මූලමාධ්‍යමිකකාරිකා
3. ද්වෙ සත්යෙ සමුපාශ්රිත්ය - බුද්ධානං ධර්මදේශනා
ලොකසංවෘතිසත්යඤ්ච - සත්‍යං ච පරමාර්ථත:
පපඤ්චසූදනී
දුවෙ සච්චානි අක්ඛඤ්ඤාසි - සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථං ච - තතියං නූපලබ්භති
"කර්මය කරන්නෙක් නැත. විපාක විදින්නෙක් ද නැත. සුද්ධ ධර්ම සමූහයක් පමණක් පවතී" යන විසුද්ධිමග්ගයේ එන අදහස ත්‍රිපිටකයේ කිසි තැනෙක දක්නට ලැබෙන්නේ නොවේ. විසුද්ධිමග්ගයේ එය දක්වා ඇත්තේ පොරාණ මතයක් ලෙසිනි. මේ අදහස වඩා සමීප වන්නේ ථෙරවාදයට නොව මාධ්‍යමික දර්ශනයටය. මෙබඳු අන්‍ය දර්ශන පිළිබඳ අටුවා ලියූ තෙරවරුන් තුළ පැවති දැනුම පාලි අට්ඨකථාකරණයේදී උන්වහන්සේලා උපයෝගි කරන ලද බව කියැවෙන තව සාධකයක් විසුද්ධිමග්ගයේම දක්නට ඇත. පටිච්චසමුප්පාද ධර්මය විවරණය කරන බුද්ධඝෝෂ හිමියෝ ප්‍රකෘතිවාදීන් විසින් උගන්වනු ලබන ප්‍රකෘතිය මෙන් අවිද්‍යාව ලෝකයෙහි මූලකාරණය වශයෙන් ගැනීම යුක්ති නොවන බව පෙන්වා දෙති. මේ කියන ප්‍රකෘතිවාදය ඉගැන්වෙන්නේ සාංඛ්‍ය දර්ශනයේය. බුද්ධඝෝෂ හිමියන්ට පටිච්චසමුප්පාද ධර්මය සමග සසඳන්නට තරම් සාංඛ්‍ය දර්ශනය පිළිබඳ දැනුමක් වූ බව මෙයින් පෙනේ. සාංඛ්‍ය දර්ශනය වනාහි බුදුන් වහන්සේට පෙර සමයෙහි ඉන්දියාවේ පැවති ඉගැන්වීමකි. බෞද්ධ පටිච්චසමුප්පාද ධර්මයට සාංඛ්‍ය දර්ශනය බෙහෙවින් බලපා ඇතැයි කියන විචාරක මතය ද මෙහිදී සිහියට ගැන්ම වටී. පාලි අටුවා හෙල අටුවාවල පරිවර්තන වශයෙන් සැලකීමේ යුක්තියුක්තභාවය ඉහත සඳහන් කළෙමු. බුද්ධඝෝෂ හිමියන්ගේ විසුද්ධිමග්ගය මෙපමණකින් වත් පරිවර්තන ග්රන්ථයක් නොවේ. විසුද්ධිමග්ගය රචනා කිරීමේදී සියලු හෙලටුවාත් එවක පැවති අනෙක් ධර්ම ග්‍රන්ථත් පරිශීලනය කළ බව සැබෑය. සාම්ප්‍රදායික මතයට අනුව බුද්ධඝෝෂ හිමියන් කළ, දැනට ඉතිරිව ඇති එකම ස්වාධීන ග්‍රන්ථය එයයි. බුද්ධඝෝෂ හිමියන්ගේ අප්‍රතිහත ඤාණසම්භාරයට කදිම නිදසුන වශයෙන් විසුද්ධිමග්ගය දැක්වේ. මහාවිහාරවාසීන්ගේ දේශනා නය නිශ්‍රය කරගෙන විසුද්ධිමග්ගය භාෂණය කරන්නෙමැයි ග්රන්ථාරම්භයේදී බුද්ධඝෝෂ හිමියන් කියා ඇති බව මුලදීම සඳහන් කෙළෙමු. එහෙත් විසුද්ධිමග්ගයට පතංජලී යෝග දර්ශනය නොමඳව බල පා ඇති බව විචාරකයන් පෙන්වා දී ඇත. විසුද්ධිමග්ගයේ පරිච්ඡේද බෙදුමට පවා පතංජලී යෝග දර්ශනය බලපා ඇති බව කියවේ. පතංජලී යෝග දර්ශනයේ එන සමාධි පාද, සාධන පාද, විභූත් පාද, කෛවල්‍ය පාද යන පරිච්ඡේදවලට විසුද්ධිමග්ගයේ සීල නිද්දේස, සමාධිද්දේස, පඤ්ඤාභූමි නිද්දේස හා පඤ්ඤාසාධනා යන කොටස් කෙතරම් දුරට අර්ථ වශයෙන් ගැළපේද? විසුද්ධිමග්ගයේ ඉගැන්වෙන භාවනා ක්රමයේ ඇතැම් අංශ ත්‍රිපිටක ග්‍රන්ථවල දක්නට නැති බව ප්රකටය. කම්මට්ඨාන හා කසිණ පිළිබඳ විසුද්ධිමග්ගයෙ එන කරුණු මීට නිදසුන් වශයෙන් දැක්විය හැකිය. පසුව සංවර්ධනයට පත් බෞද්ධ භාවනා ක්‍රමය ගොඩ නැංවීමට පතංජලී යෝග දර්ශනයෙන් බුද්ධඝෝෂ හිමියන්ට නොමඳ ආභාසයක් ලැබිණ.
බුද්ධඝෝෂ හිමියන් තමන් වහන්සේ විසින් දෙන ලද මහාවිහාර නයට අනුකූල වීමේ ප්‍රතිඥාව කොතරම් දුරට නොසලකා ඇත්දැයි විසුද්ධිමග්ගයේ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පෙනී යයි. මහාවිහාරයට ප්රතිපක්ෂව අනුරපුරයේ ගොඩනැගුණු අනෙක් ආගමික මධ්‍යස්ථානය අභයගිරිය ය. උත්තර විහාරය නමින් හැඳින්වූයේද එයයි. බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වඩින්නට පෙර සිටම උත්තර විහාරයේ විමුක්තිමග්ග නමින් ග්රන්ථයක් විය. අභාවයට ගොස් පැවැති එම ග්‍රන්ථය චීන පරිවර්තනයක් මගින් මෑතකදී සොයාගන්නා ලදුව ඒ පිළිබඳ තුලනාත්මක අධ්‍යයන කිහිපයක්ම සිදුවිය. ඒ අනුව ප්‍රකට වූ ඉතා වැදගත් කරුණක් නම් විසුද්ධිමග්ගය මේ විමුක්තිමග්ගයට බෙහෙවින් ණය ගැති බවය. ග්රන්ථ තත්ත්වය, පරිච්ඡේද බෙදීම හා ඒවා නම් කිරීම, ඒ ඒ මාතෘකා යටතේ දැක්වෙන කරුණු, ග්රන්ථ පරමාර්ථය යන සෑම කරුණකදීම විසුද්ධිමග්ගයත් විමුක්තිමග්ගයත් බොහෝ දුරට සමානය. පැහැදිලි ලෙසම විසුද්ධිමග්ගය රචනා කිරීමේදී බුද්ධඝෝෂ හිමියෝ අභයගිරි විහාරයට අයත් විසුද්ධිමග්ගය උපයෝගි කරගත්හ. එහෙත් ඒ පිළිබඳ කිසිදු සඳහනක් නොකිරීමට උන්වහන්සේ වග බලා ගත්හ. අභයගිරි විහාරයට අයත් විමුක්තිමග්ගය බෞද්ධ ඉගැන්විම් සම්බන්ධයෙන් ප්‍රාමාණික ග්රන්ථයක් වශයෙන් පවතින්නට ඇති බවත් එහෙයින් මහාවිහාරයට එවැනි ග්‍රන්ථයක අවශ්‍යතාව තදින් දැනෙන්ට ඇති බවත් පැහැදිලිය. බුද්ධඝෝෂ හිමියන් විසුද්ධිමග්ගය රචනා කරන්නට ඇත්තේ ඒ අවශ්‍යතාව සපුරනු පිණිසය. විසුද්ධිමග්ගයට ප්රමුඛස්ථානයදී මහාවිහාරය විසින් ගෙන යන ලද වැඩ පිළිවෙළ මෙකී අභයගිරිවිහාරික විමුක්තිමග්ගය අභාවයට යන්නට හොඳටම හේතු වන්නට ඇත. විසුද්ධිමග්ගයට ටීකාවක් කළ අර්ථකථාචාර්ය ධම්මපාල හිමියෝ බුද්ධඝෝෂ හිමියන් හිතාමතාම අමතක කළ විසුද්ධිමග්ගයත් එහි කතුවරයා වූ උපතිස්ස හිමියනුත් අපට මතක් කර දෙති. විසුද්ධිමග්ගයේ එක් තැනෙක එන "එකච්චෙ" යන පදයෙන් අදහස් කෙරෙන්නේ උපතිස්ස හිමියන් බවත් උන්වහන්සේගේ විසුද්ධිමග්ගයේදී මේ ප්රස්තුතය කියා ඇති බවත් විසුද්ධිමග්ගටීකාවේ තවත් තැනෙක සඳහන් වේ. ‘ඇතමෙක් මෙසේ කියති‘යි දැක්වෙන විසුද්ධිමග්ග පාඨයේ "ඇතමෙක්" යනුවෙන් අදහස් වන්නේ අභයගිරිවාසීන් යයි විසුද්ධිමග්ගටීකාවේ තවත් තැනෙක සඳහන් වේ. මින් පෙනෙන්නේ මහාවිහාරය උරණ කර නොගැනීමට අභයගිරි විහාරය ගැන නමින් මතක් නොකළත් අවශ්‍ය තැන එම විහාරයේ වැදගත් අදහස් තමන්ගේ අටුවාවලට අනියම් පරිද්දෙන් හෝ පිවිසීමට බුද්ධඝෝෂ හිමියන් ඉදිරිපත් වූ බව නොවේද?
බුද්ධඝෝෂ හිමියන් කලාතුරකින් නමුදු ඇතැම් තැනෙක සාකච්ඡාවට භාජනය වන කාරණය සම්බන්ධයෙන් තමාගේ මතය දැක්වීමට ඉදිරිපත් වෙති. ස්වමතය මහාවිහාර මතයම නම් මෙසේ වෙසෙස් කොට කියා එය දැක්විය යුතු නැත. එහෙයින් ස්වමතය දක්වාඇත්තේ කිසි ලෙසකින් බුද්ධඝෝෂ හිමියන්ට එකඟ වන්නට බැරි අදහස් මහාවිහාර සම්ප්රදාය තුළ පැවති අවස්ථාවලදී විය යුතුය. පාලි අටුවාවල ඇත්තේ මහාවිහාර මත පමණක් නොවන බව සනාථ කිරීමට අටුවාවල එන කරුණු ආශ්රයෙන් ම සාධක ඉදිරිපත් කළ හැකිය. මේවා (1) අටුවාවල එන පෙල දහමට විරුද්ධ අදහස්, (2) පෙලේ එන කරුණුවලට අටුවාවලදී අමතරව එකතු කෙරුණු විස්තර, (3) අටුවාවල එන එකිනෙකට නොගැළපෙන කරුණු සහ (4) අර්ථකථාචාර්යයන්ට නියම විනිශ්චයකට එළඹිය නොහැකි වූ කරුණු යන ශීර්ෂ යටතේ වෙන් කොට දැක්වීය. මින් ඇතැම් ශීර්ෂයකට උදාහරණ වශයෙන් දැක්විය හැකි සාධක අනල්ප හෙයින් මේ එකිනෙක මෙහිදී ඉතා සැකෙවින් විමසීමට අදහස් කෙරේ.
මජ්ඣිම නිකායේ චූලඅස්සපුර සූත්‍රය ආදී කිහිප තැනකම ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කුලවලින් පැවිදි වූ අය මුහුදට වැටුණු පසු ගඟේ නම මැකී ගොස් එය මුහුදු ජලය බවට පත්වන්නා සේ විවිධ කුලගෝත්ර වලින් සසුන් කෙතට පිවිසෙන අයගේ කුලගෝත්ර මැකී ගොස් ශ්‍රමණ ශාක්‍යපුත්‍ර බවට පැමිණෙන බව බුදුන් වහන්සේ ත්‍රිපිටකයේ කිහිප තැනකම පවසති. එහෙත් සුමංගලවිලාසිනියේත් පපඤ්චසූදනියේත් මීට හාත්පසින් වෙනස් අදහසක් දක්වා ඇත. ඒවායේ දී ගෘහපතියන් පමණක් පැවිදි බිවට යෝග්‍ය බව පෙන්වීමට උත්සාහ දරා ඇත. ක්ෂත්රීයයන් ජාතිය නිසාද බමුණන් වේදමන්ත්‍ර නිසාද මානය උපදවන හෙයින් ඔවුන් පැවිදි බවට නුසුදුසු සේ දැක්වීම මෙහිදී අදහස් විය. ගෘහපති දරුවෝ පිටෙහි ලුණු පිපෙන තුරු දහඩිය වගුරුවා පොළොව සා මානය ඉවත ලූ අය වෙති. එහෙයින් මහණකමට නිස්සෝ මොවුහුයයි අටුවාව වැඩිදුරටත් කියයි. පෙල දහමට විරුද්ධ මෙබඳු අදහස් මහාවිහාර නය තුළ තිබෙන්නට ඇත්ද?
බෝධිසත්ත්වයන් මව් කුස සිටියදී දෙවියන් හතර දෙනෙකු ආරක්ෂාවට සිටි බව මහාපදාන සූත්‍රයේ සඳහන් වේ. අටුවාවේදී එසේ ආරක්ෂාවට සිටි දෙවියන් ගණන හතළිස් දහසකැයි දැක්වේ. බෝසතුන්ගේ පා තලයේ චක්‍ර ලක්ෂණය වී යයි පෙලේ සඳහන් වේ. එහෙත්, සමුද්‍රය, චක්‍රාවාටය ආදී ලක්ෂණ රාශියක් එහි වී යයි අටුවාව කියයි. ගෝපාලක විමානවත්ථුවේ ගොපල්ලා දමා ගිය පිට්ටු මුගලන් හිමි තෙමේ ම අනුභව කළ බව සඳහන් වේ. පෙලේ එන කරුණු මේ අන්දමට අමතර කරුණු එකතු කොට වෙනස් කිරීම පෙළ දහම පණ මෙන් රැකි මහාවිහාර භික්ෂූන් වහන්සේලා අතින් සිදුවන්නට ඇත්ද?
බමුණන් පස් දෙනෙක් සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙන බව ප්‍රකාශ කළහයි මජ්ඣිමනිකාය අටුවාවේ පාසරාසිසුත්තවණ්ණනාවේ කියැවේ. අංගුත්තරනිකාය අටුවාවේ එතදග්ගපාලිවණ්ණනාවේ සඳහන් වන්නේ කොණ්ඩඤ්ඤ බමුණා පමණක් එසේ කී බවයි. බුදුන් වහන්සේට සීත හෝ උෂ්ණය නොදැනුනේ යැයි දීඝනිකාය අටුවාව කියයි. සංයුත්තනිකාය අටුවාව අනුව බුදුන් වහන්සේට ද උෂ්ණ කාලයේ උෂ්ණය දැනේ. තවද දීඝනිකාය අටුවාව අනුව බුදුන්වහන්සේට ලැබුණු ප්‍රථම දානයටත් අවසාන දානයටත් දෙවිවරු දිව්‍ය ඕජස දැමූහ. මජ්ඣිමනිකාය අටුවාවේ යටත් පිරිසෙයින් බොන පැනට පවා දිව්‍ය ඕජස වැටෙන බව සඳහන් වේ. මේ අන්දමට එක අටුවාවක එකකුත් තව අටුවාවක ඒ කරුණ ගැනම වෙන එකකුත් කියැවෙන අන්දමේ පරස්පර විරෝධයක් මහාවිහාර නය තුළ වීද?
දීඝනිකාය අටුවාවේත් අංගුත්තනිකාය අටුවාවේත් මහාපදේසවල එන සුත්ත, විනය ශබ්දවලට තේරුම් හතර බැගින් දක්නට ලැබේ. මේ පදවල නිශ්චිත තේරුම අර්ථකථාචාර්යයන්ට පැහැදිලි නොවූ බව ඉන් පෙනේ. අනඳ හිමියන් ප්‍රථම සංගීතියට වැඩියේ පියවි ගමනින; පොළොව පලාගෙනයි; අහසින් ය යි දීඝනිකාය අටුවාවේ සඳහන් වේ. අනඳහිමියන් ඇත්තටම වැඩියේ කෙසේදැයි අර්ථකථාචාර්යයෝ දැන නොසිටියහි මෙයින් කියැවේ. සංයුත්තනිකාය අටුවාවේදී "ජින්නපිලොතික" යන්නට අර්ථ හතරක් දී ඇත. එහි නියම තේරුම කුමක්දැයි අටුවා ඇදුරන් නොදැන සිටිසේය. "අජකලාපක" යන්නට අර්ථ දෙකක් දී "අජපාල" යන්නට අර්ථ තුනක්ද උදාන අටුවාවේ දක්වා ඇත. තෙවලා දහම පිළිබඳ නිශ්චිත අවබෝධයක් තිබුණා යයි සැලකිය හැකි බුද්ධමතඥ මහාවිහාරික වූ භික්ෂූහු මෙවැනි සුළු තැනකදී පවා අවිනිශ්චිත තත්ත්වයක පසු වූහ යි සිතිය හැකිද?
මේ තත්ත්වය යටතේ එක්කෝ පාලි අටුවාවල මහාවිහාර නය පමණක් නොව අනේක සම්ප්‍රදායවලට අයත් නොයෙක් මතවාද ද සංග්‍රහ වී ඇතැයි පිළිගත යුතුය; නැතිනම් මහාවිහාර සම්ප්රදායෙහිද විවිධ මතභේද, අවිනිශ්චිතතා හා සාවද්‍ය ධර්ම විරෝධී අදහස් තහවුරු වී පැවතිණැයි තීරණය කළ යුතුය.
උපුටා ගැනීම:-
සමර්පණා (ධර්මශාස්ත්‍රීය ලිපි සංග්‍රහය), හඳුගල විමලසීලි නාහිමි උපහාර ග්‍රන්ථය, සංස්කාරකවරු-ආචාර්ය සුනිල් කාරියකරවන, අධ්‍යාපන දර්ශනපති සිරිපාල ගමගේ, මුද්‍රණය-සෙන් ප්‍රින්ට්, ඇතුල්කොට්ටේ. පිටු-48-62