Pali Language
Letters - 01
Letters - 02
Letters - 03
Letters - 04
Letters - 05
Letters - 06
Pali sotries with meaning - 01
Pali stories with meaning - 02
Conjugation
Conjugation of Masculine nouns
Conjugation of Feminine nouns
Conjugation of Neuter Nouns
Conjugation of relative pronouns
Conjugation of Numerals
Conjugation of verbs
Verb stems
Conjunctions
Compounds
Lessons
Lesson - 01
Lesson - 02
Lesson - 03
Lesson - 04
Lesson - 05
Lesson - 06
Lesson - 07
Lesson - 08
Lesson - 09
Lesson - 10
Lesson - 11
Lesson - 12
Lesson - 13
Lesson - 14
Lesson - 15
Lesson - 16
PALI UNICODE DICTIONARY
Words
Grade - 07
Pali of dhamma school
Books to study
Spoken Pali - 01
Spoken Pali - 02
Riddle in Pali
File - 01
File - 02
Files-03
File- 4
Mathurata Pannananda himi
Documents can be downloaded
Extra reading
Untitled
Blog
Contact
File - 4
01.ථේරවාද අභිධර්මාගත භාෂාමය දර්ශනය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගෞරවාර්හ පිටිගල විජිත හිමි.
(විද්‍යොදය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය -2010)
මුල් බුදුසමය තුළ ඛන්ධායතන ධාතු වශයෙන් බෙදා දක්වන සත්ත්වයා සම්බන්ධ යථාභූතය අභිධර්මයෙහි වඩාත් පෘථුල ලෙස විශ්ලේෂණයට පාත්‍ර වී ඇති බව දක්නට ලැබේ. අභිධර්මාගත නාම - රූප ධර්ම විභාගය මගින් සත්ත්ව සංඛ්‍යාත පඤ්චස්ඛන්ධය අතිශය සියුම් ලෙස විග්රහ වී ඇත. ඒ අනුව නාම යන්නෙන් මානසික අංශයත් රූප යන්නෙන් භෞතික ශරීරයත් නියෝජනය වී ඇත. මේ අතුරින් අභිධර්මාගත රූප විභාගය භාෂා ව්‍යවහාර සම්බන්ධයෙන් වැදගත් වේ. භාෂාවේ ප්රභවය ශබ්දයයි. ශබ්දය යනු යම්කිසි ගැටීමක ප්රතිඵලයකි. බෙරය මතුපිට අත්ල ඝට්ටනය කිරීමෙන් බෙර හඬ ඇති වෙයි. එම බෙරහඬ මගින් විවිධ ශබ්ද ධ්වනි උත්පාදනය කරන්නේ අත්ලෙහි ඇඟිලි බෙරයෙහි විවිධ ස්ථානයන් ස්පර්ශ කිරීමේ හේතුවෙනි. එසේ ම සීනුවක දිව ගෙඩියෙහි වැදීමෙන් ශබ්දයක් උත්පාදනය වේ. මිනිසාගේ මුඛයෙන් ද විවිධ ශබ්ද ජනිත වන්නේ උච්චාරණ ඉන්ද්රිය පද්ධතියේ ක්‍රියාකාරිත්වය හේතුවෙනි. මෙසේ යම් දේ ගැටීමෙන් ශබ්ද උපදින නිසා අභිධර්මයේ දී ශබ්දය භෞතික දෙයක් ලෙස හෙවත් රූපයක් ලෙස හඳුන්වා ඇත. ධම්මසංගණීප්පකරණයේ ශබ්දය හඳුන්වා ැත්තේ බෙරහඬ, මෘදංග හඬ, සක් හඬ ආදී යම් ශබ්දයක් සතර මහා භූතයන්ගේ සමවායෙන් ඇතිවේද එම රූපය ශබ්දායතන නම් වේ.1
සන්නිවේදනයෙහිලා අපට වැදගත් වන ප්‍රකාශයක් විඤ්ඤත්ති යනුවෙන් අභිධර්මයෙහි සඳහන් වේ. විඤ්ඤත්ති යනු විවිධ කාය වාග් ක්‍රියාකාරකම් ය. විඤ්ඤත්ති වර්ග දෙකක් පවතින බව දක්නට ලැබේ.
01. කාය විඤ්ඤත්ති
02. වචී විඤ්ඤත්ති වශයෙනි.
කායිකව එනම් අත් පා චලනය කිරීම් ආදී ශාරීරික ක්‍රියාකාරකම් ආශ්රයෙන් අදහස් ප්‍රකාශ කිරීම කාය විඤ්ඤත්තිය යි. වචන මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කිරීම වචීවිඤ්ඤත්තිය යි. මෙම වර්ගීකරණයට අනුව අභිධර්මයේ භාෂාව වචනයට පමණක් සීමාකොට නැති බව ප්‍රකට වේ. උක්ත විඤ්ඤත්තිද්වය ධම්මසංගණිප්පකරණයේ හඳුන්වා ඇත්තේ රූප දෙකක් වශයෙනි. ඒ අනුව කුසල්, අකුසල්, පින්, පව්, යනාදී කුමන සිතක් ඇති කෙනෙකුගේ හෝ කුමන ඉරියව් ඇත්තකුගේ හෝ කයේ තද කිරීමක් බලවත් තද කිරීමක් තද කළ බවක් තුළින් දැක්වීමක් දක්වන ආකාරයක් දැක් වූ බවක් වේද එය කාය විඤ්ඤත්තියයි.2 ඉහත සඳහන් කුමන සිතක් ඇත්තෙකුගේ හෝ වචනයක් ප්‍රකාශයක් වාක්‍ය භේදයක් ඝෝෂයක් ඝෝෂ කර්මයක් වේද එය වචනයයි. එමගින් කරනු ලබන වාචසික දැක්වීම, වචී විඤ්ඤත්ති නම් වේ.3 එම කායික වාචසික ක්‍රියාකාරකම් කිරීමේ දී කායික අංග චලනයන් රැසක් සිදුවෙන බව පෙනේ. එනම්, කායික අදහස් ප්‍රකාශ කිරීමේ දී අතපය සෙලවීම මුහුණේ ඉරියව් දැක්වීම ආදිය සිදුකරණ අතර වචනය මගින් අදහස් දැක්වීමේ දී දිව, දෙතොල, දත්, උගුර, තල්ල ආදිය උච්චාරණය හා සම්බන්ධ චලනයන් සිදු කෙරේ. එය සිදුවන්නේ ද භූත රූපයන්ගේ චලිතයෙනි. එම නිසා මෙම චලිත රූප වශයෙන් හඳුන්වා ඇත. එසේ වුව ද මෙම චලිතයන් වන්නේ ආකාශ්මිකව හෙවත් ඉබේ ම නොවේ. සිත් සිතා ඒවා කළ යුතු ය. අප කරණ විඤ්ඤාපනයට හැම විට ම සිත බලපායි. එය කුසල් සිතක් හෝ අකුසල් සිතක් හෝ අව්‍යාකෘත සිතක් හෝ විය හැකි ය. පුරුෂයෙක් තිරිසනෙකුට හෝ තිරිසනෙක් පුරුෂයෙකුට හෝ පුරුෂයෙකුගෙන් පුරුෂයෙකුට හෝ යම් යම් දැනුම් දීමක් කරන්නේ නම් එය විඤ්ඤත්තියයි. තමාට ම යමක් දැනුම් දීම ද විඤ්ඤත්ති වේ.4 ඒ කුමන අවස්ථාවක දී වුව ද තමා දැනුම් දෙ දේ පිළිබඳව මූලික වශයෙන් සිතා ඉන් අනතුරුව ඉහත ආකාර දෙකෙන් තම හැඟුම් ප්‍රකාශ කරයි. එහ මිනා මෙම දැනුම් දීම ද්‍රව්‍යමය දේ ආශ්‍රය කරගෙන සිදු වුව ද මූලික වශයෙන් මනස ක්‍රියාත්මක වන බව අභිධර්මය සඳහන් කරයි. මුල් බුදුසමය සමග ද එම අදහස විෂම නොවන බව කිව යුතු ය.
මනස මුල් කරගෙන සිදුවන මෙම වචීසංඛාර පිළිබඳව විස්තර කරණ පඤ්චප්පකරණට්ඨකථාව මුලින්ම විතර්කණය කොට විචාරණය කොට පසුව කථා කරණ බව සඳහන් කරයි. එබැවින් විතක්ක, විචාර දෙක වචීසංඛාර නමින් ද හඳුන්වා ඇත. සංඛාර යන්නෙහි අදහස රැස් කිරීම යන්නයි. ඒ අනුව වචනයෙන් රැස් කරණ යන අදහසින් වචීසංඛාර නම් වේ. එසේ ම භාෂාව හැඳින්වීම සඳහා මුල් බුදුසමයෙහි මෙන් ම අභිධර්ම ග්‍රන්ථවල ද නිරුත්ති යන පදය භාවිත වී ඇති බව දක්නට ලැබේ. ප්‍රධාන නිරුත්ති වර්ග දෙකක් දක්නට ලැබේ. එනම්, සභාව නිරුත්ති, නසභාව නිරුත්ති වශයෙනි. සභාව නිරුත්තිය නම් ස්වාභාවික හෙවත් විපරීත නොවූ නිරුත්තියයි.5 වැරදි ලෙස ව්‍යවහාර කරණ භාෂාව නසභාව නිරුත්ති නම් වේ. අභිධම්මත්ථ විකාසිනියේ පැහැදිලි කරණ පරිදි ඵස්සො යන්න සභාව නිරුත්තිය නොවන බවත් පෙන්වා දෙයි.6 එසේ ම මෙම නිරුත්ති යන්නට පර්යාය වශයෙන් පඤ්ඤත්ති යන පදය ධම්මසංගිණීප්පකරණයෙහි සඳහන් වේ. අධිවචනපථ, නිරුත්තිපථ, පඤ්ඤත්ථිපථ, පිළිබඳව විග්රහ කරණ ධම්මසංගණිප්පරණය ඒ ඒ ධර්මයන්ගේ සංඛ්‍යාව, සංඥාව, ප්රඥප්තිය, ව්‍යවහාරය, නාම කර්මය, නාම ධෙයය, නිරුත්තිය, ව්‍යඤ්ජනය, අභිලාපය යන අර්ථ දක්වයි.7 මෙයින් අපට පෙනී යන්නේ ධම්මසංගණියේ මෙම වචන තුන ම අවිශේෂයෙන් එකම අර්ථයක් ප්‍රකාශ කරණ ඒවා ලෙස සලකා ඇති බවයි. යම්කිසි අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා අප උපයෝගී කර ගන්නා වූ භාෂාව ඉහත කී වචන තුනෙන් ම නියෝජනය වන බව පෙනේ. එහෙත් අත්ථසාලිනියට අනුව ප්රකරණාර්ථය ඉහත වචන තුනෙන් ගම්‍ය කෙරෙන බව පෙන්වා දෙයි.8 ඉහත විවරණයට අනුව භාෂා ව්‍යවහාරය තුළ භාවිත වන වචන ත්රයාකාරයකට බෙදා දැක්විය හැකි ය.
01. ආරූඪාර්ථ වචන (අර්ථවත් නොවන වචන)
02. නිරුක්තාර්ථ වචන ( නිරුක්තියට අනුව අර්ථවත් වන වචන)
03. ප්රකරණාර්ථ වචන (ප්‍රකරණයට අනුව අර්ථවත් වන වචන)
නිවැරදි භාෂාව ව්‍යවහාර කිරීම සඳහා ඉහත අර්ථ ප්රභේදයන් පිළිබඳ මනා දැනුමක් තිබීම අවශ්‍ය වෙයි. මන්දයත් කිසියම් වචනයක නිරුක්ති අර්ථ දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකි බැවිනි. උදාහරණ වශයෙන් රොහිත වචනය ගනිමු. මෙනමින් මත්ස්‍ය වර්ගයක් මෙන්ම මෘග විශේෂයක් ද හැඳින්වේ. අත්තා යන්නෙන් ආත්මය යන අදහස මෙන් ම තමා යන අදහස ද දෙයි. මෙලෙස ධම්ම සංඛාරා යනාදී වචනයන්හි විවිධාර්ථයන් පවතින බව පෙනේ. මෙම පදයන් කුමන අර්ථයක් ගන්නේ ද යනු විමසා බැලිය යුත්තේ යෙදෙන සන්දර්භය සැලකීමෙනි. උදකෙ රොහිතා යන්ති යන වාක්‍යයෙහි රොහිතා යන පදයෙන් මත්ස්‍යයා ද ථලෙ රොහිතා යන්ති යන වාක්‍යයෙහි රොහිතා යන පදයෙන් මෘගයා ද අදහස් කරණ බව තේරුම් ගත යුතු ය. එනේ තේරුම් නො ගතහොත් ගැටලු රාශියක් පැන නගියි. අත්තාහි අත්තනො නාථො යන පාඨයේ අත්ත ශබ්දයෙන් අදහස් වන්නේ ආත්මය යැයි තේරුම් ගතහොත් බුදුසමයේ අනත්ත සංකල්පය පදනම් විරහිත වෙයි. ත්රිලක්ෂණය වැනි සංකල්ප අර්ථ ශූන්‍ය වෙයි. මේ පිළිබඳ අදහස් දක්වන අභිධර්මාර්ථසංග්‍රහ පුරාණ සන්නස යම් සේ යුද්ධ කාලයෙහි සෛන්ධවමානය යැයි කී කල්හි අශ්වයා/ලවණ දෙයාර්ථයෙහි අවිශේෂත්වයෙන් ප්‍රවෘත්ත වූ සෛන්ධව ශබ්දයා ප්‍රස්තාව හෙයින් අශ්වයා කෙරෙහි ම වේ.9 යනුවෙන් අදහස් දක්වයි. සෛන්ධව ශබ්දයේ ලුණු යන අර්ථය මෙන් ම අශ්වයා යන අර්ථ ද වේ. යම්කිසි කෙනෙකු සෛන්ධවමානය (සෛන්ධව ගෙන එන්න) යැයි කීවිට යුද්ධ කාලයක නම් අශ්වයා ගෙන ඒම අදහස් කරයි. ලුණු අවශ්‍ය අවස්ථාවක දී නම් ලුණු ගෙන ඒම අදහස් කරයි. මෙසේ යම්කිසි වචනයක අර්ථය ප්‍රකරණයට හෙවත් අවස්ථාවෝචිතව අවබෝධ කර ගත යුතු බව මෙමගින් ප්‍රකට කෙරේ. තව ද සම්මුති පරමත්ථ වශයෙන් සත්යද්වයක් හෙවත් ව්‍යවහාර දෙකක් පවතින බව කථාවත්ථුප්පකරණයේ සඳහන් වේ. සූත්‍ර දේශනාවන්හි දක්නට ලැබුණු නිප්පරියාය විත්තාර සාමුක්කංසිකා දේශනා යන දේශනා ක්රමයන් තීතත්ථ වලට පර්යාය වශයෙන් අභිධර්මයේ දී පරමත්ථ දේශනා යන්න භාවිත වන බව පෙනී යයි. ස්වමත මණ්ඩනය පිණිසත් පරවාද මථනය පිණිසත් ඉදිරිපත් කරණ ලද විවිධ වාදයන් කථාවත්ථුප්පකරණයේ ඇතුළත් වේ. සත්යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇත්ද නැද්ද යනාදී කරුණු සාකච්ඡා කරයි. ඒ අනුව පරමාර්ථ වශයෙන් හෙවත් උපරිම වශයෙන් විග්රහ කළ විට පුද්ගලයෙක් නැති බවත් නමුත් සම්මුති වශයෙන් හෙවත් අවම වශයෙන් විග්රහ කළ විට පුද්ගලයෙක් ඇති බවත් සඳහන් කරයි. සත්යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇත්දැයි සකවාදී ප්‍රශ්නයක් නගයි. එයට පරවාදි පිළිතුර වන්නේ එසේ ය යන්නයි. අංගුත්තර නිකායේ සඳහන් භාරහාර සූත්‍රාදිය උදාහරණ වශයෙන් දක්වමින් සසර සැරිසරනා සතෙකු පුගුලෙකු සිටින බව සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කොට ඇත. මෙම පුද්ගලවාදී මත ඛණ්ඩනය කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු අතර සංයුත්ත නිකායේ වජිරා සූත්‍රයෙහි සඳහන් වන වජිරා භික්ෂුණියගේ ප්‍රකාශය ද වේ. එනම් සියලු අංග එකතු වීම හේතුවෙන් රථය යන නම ලබන්නා සේ රූපාදී පඤ්චස්කන්ධයන් ගේ එකතුවෙන් සත්තව, පුද්ගල, යන සම්මුතිය පවතින බව ද, එහෙත් එම පස්කඳ වෙන්කොට, විශ්ලේෂණය කර පරමාර්ථ වශයෙන් ගත් කළ එබඳු පුද්ගලයෙකු නැති බව ද පෙන්වා දෙමින් පරවාදීන්ට පිළිතුරු දී ඇත.10 මේ ආකාරයට කරුණු රාශියක් දක්වමින් සම්මුති වශයෙන් පුද්ගලයකු සිටින නමුත් පරමාර්ථ වශයෙන් පුද්ගලයකු නැති බව පෙන්වා දෙයි.
මෙසේ සම්මුති - පරමාර්ථ වශයෙන් දේශනාවේ ආකාර දෙකක් ඇති බව දක්වන කථාවත්ථුප්පකරණාගත අදහස පඤ්චප්පකරණට්ඨකථාවේ දී තවදුරටත් පැහැදිලි කොට ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා ක්‍රම දෙකක් භාවිත කරති. සම්මුති කථා - පරමාර්ථ කථා වශයෙනි. සත්ත්වයා, පුද්ගලයා, දෙවියා, බ්‍රහ්මයා ආදිය සම්මුති කථා නම් වේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ස්කන්ධ, ධාතු, ආයතන ආදිය පරමත්ථ කථා නම් වේ. දේශනා ස්වභාවය නම් පළමුව සම්මුති කථාව කොට පසුව පරමත්ථ කථාව කරති. එසේ කරනුයේ සුඛාවබෝධය පිණිස ය. සම්මුති කථා සහ පරමත්ථ කථා යන දෙක ම අසත්‍ය නොවේ.11 මෙම විග්‍රහය මගින් අටුවාචාර්යවරුන් උත්සාහ කරන්නේ සම්මුති හා පරමාර්ථ වශයෙන් දෙයාකාරයක දේශනාවක් බුදුරජාණන් වහන්සේ භාවිත කළ බවත් ඒ දෙක ම සත්‍ය වන බවත් පෙන්වා දීමටය. සම්මුති වශයෙන් ප්‍රකාශ කරණ අදහසක් පරමාර්ථ වශයෙන් යථාර්ථයක් නොවිය හැකි ය. නමුත් සම්මුති වශයෙන් එය යථාර්ථයකි. පරමාර්ථ දේශනාව හැමවිටම සාර්ථක වන්නේ ද නොවේ. ලෝක ව්‍යවහාරය ඉක්මවන බැවිනි. පුද්ගලයා, සත්ත්වයා, මව, පියා ආදී වශයෙන් ලෝක ව්‍යවහාරයේ එන සම්මුති ඒ අයුරින් ම භාවිත කළ යුතු ය. එසේ නොවුවහොත් හාස්‍ය ස්වභාවයක් ඇතිවිය හැකි ය. ඒ නිසා ම සත්‍ය දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව කථාවත්ථුප්පකරණයෙහි සඳහන් වේ.
"
දුවෙ සච්චානි අක්ඛාසි - සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථං ච - තතියං නූපලබ්බති
සංකෙත වචනං සච්චං - ලොකසම්මුති කාරණා
පරමත්ථවචනං සච්චං - ධම්මානං තථලක්ඛණං
"
කථා කරන්නවුන් අතර ශ්‍රේෂඨ වූ බුදුරජාණන් වහන්සේ සම්මුති, පරමත්ථ වශයෙන් සත්‍ය දෙකක් දේශනා කළහ. සත්‍ය තුනක් නැත. ලෝක සම්මතයට හේතු වන බැවින් සංකේත වචන සත්‍ය වේ. එමෙන් ම ධර්මයන්ගේ යථා ලක්ෂණ පෙන්වන බැවින් පරමාර්ථ වචනය ද සත්‍ය වේ. මෙම සම්මුති පරමත්ථ යන ද්විසත්යය පිළිබඳ අවබෝධය භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වන බව පෙනේ. භාෂා ව්‍යවහාරයේදී සම්මුතිය ඉක්මවිය යුතු නොවන අතර ම පුද්ගලයෙක් ඇත, සත්ත්වයෙක් ඇත යනාදී වශයෙන් එම සම්මුතියට බැස ගත යුතු ද නොවේ. කිසියම් ප්රකාශනයක් දෙස අප බැලිය යුත්තේ එහි අරමුණ පිළිබඳ මනා වැටහීමකින් යුතුවය. එසේ නොවුවහොත් ප්රකාශනය අසන්නා විසින් වරදවා තේරුම් ගත හැකි ය. උක්ත ද්විසත්යය පිළිබඳ විවරණයක් මිලින්දප්රශ්නයේ සංවාද ස්වරූපයෙන් ඇතුළත් වේ. මිලිඳු රජතුමා නාගසේන හිමියන්ගෙන් ඔබේ නම කුමක්දැයි අසයි. එවිට තමාගේ නම නාගසේන බව පවසයි. සූරසේන, වීරසේන ආදී වශයෙන් දෙමාපියන් නම් දෙන නමුත් එය ව්‍යවහාර මාත්‍රයක් මිස පුද්ගලයෙකු දැකිය නොහැකි බව නාගසේන හිමියෝ පවසති. තදනන්තරව රජතුමා පුද්ගලයෙක් නැත්නම් ප්‍රත්‍යය දෙන්නේ කාටද? සිල් රකින්නේ කවුද? ආදී වශයෙන් ප්‍රශ්න අසා සබ්රහ්මචාරීවරු ඔබවහන්සේ නාගසේන වශයෙන් හඳුන්වන්නේ නම් කෙසේ නාගසේන දැයි අසයි. එවිට පිළිතුරු දෙන නාගසේන හිමි නැතැයි වදාරයි. මේ ආකාරයට ශරීර අවයව හා ස්කන්ධ නාගසේනදැයි අසන නමුත් ඒ සියල්ලට නැතැයි පිළිතුරු ලැබෙයි. අසන අසන දෙය නැතැයි කී විට නාගසේන කෙනෙක් නැහැ නොවේ දැයි රජ අසයි. එයට පිළිතුරු වශයෙන් රජු රථයෙන් ආවාදැයි අසා, රථය යනු වියගහ ද ආදී වශයෙන් රථ අංග ගෙනන ප්‍රශ්න කරයි. ඒවාට රජුගෙන් ලැබෙන්නේ නැත යන පිළිතුර යි. එසේ නම් රථයක් පදවන්නේ කෙසේ දැයි නාගසේන හිමි ඇසූ විට රජතුමා එම සියලු අංග රථ යන නම ලබන බවත් එය ව්‍යවහාර මාත්‍රයක් පමණක් බවත් කියයි. එවිට නාගසේන හිමි කෙස් ආදී අංග නිසා පුද්ගල යන නාමය ලබන බවත් එසේ වුව ද පරමාර්ථ වශයෙන් පුද්ලයෙකු නැති බවත් ව්‍යවහාර මාත්‍රයක් පමණක් බවත් ප්‍රකාශ කරයි.12 මෙම දෙබසට අනුව අපට පැහැදිලි වන්නේ එදිනෙදා අප කතා කරණ දෙයින් සම්පූර්ණ ව්‍යවහාරය උපයුක්ත කොටගෙන කථා කරණ බවයි. නමුත් එසේ අප කථා කරණ දෙයින් සම්මුතිය ඉක්මවා කරණ විස්තරාත්මක දේශනාවක් බව කිව හැකි ය. අභිධම්මත්ථසංගහයේ දී විස්තර කරන්නේ මෙම පරමාර්ථ ධර්ම පිළිබඳව යි. බුදුරජාණන් වහන්සේ උපරිම වශයෙන් යථාර්ථය විග්රහ කරමින් කළ දේශනා එයට අන්තර්ගත වෙයි. ඒ අනුව එහි පරමාර්ථ ධර්ම හතරක් පිළිබඳ සඳහන් වේ. චිත්තං චෙතසික, රූප, නිබ්බාන යනු එම හතරයි.13
ප්රඥප්ති භේදය
ථෙරවාදීන් භාෂාව පිළිබඳ මතය ප්‍රකාශ කිරීම සඳහා පඤ්ඤත්ති යන්න උපයෝගී කොට ගෙන ඇති බව පෙනේ. යැයි මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ප්‍රකාශ කරයි.14 එබැවින් අභිධර්මාගත පඤ්ඤත්ති සංකල්පය භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් වැදගත් වන්නේ කවර හෙයින්දැයි තවදුරටත් පරීක්ෂා කිරීම මෙහිලා වැදගත් වේ. පරමාර්ථ ධර්මවලට අන්තර්ගත නොවන අනික් සියලු දෑ පඤ්ඤත්ති තුළ ගොනු කිරීමට ආභිධම්මිකයෝ කටයුතු කළ හ. පරමාර්ථ මගින් ලෝකයේ පවත්නා සියල්ලක් ම පිළිබඳව යමක් ප්‍රකාශ කළ නොහැකි ය. එමනිසා සාමාන්‍ය ව්‍යවහාරය සම්බන්ධයෙන් දැකිය හැකි ද්‍රව්‍ය ධර්ම සහ ඒවාට භාවිත වන වචනත් පරමාර්ථ ධර්ම හැඳින්වීමට යොදන නාම පද ආදියත් හැඳින්වීමට වෙනම ම සංකල්පයක් අවශ්‍ය විය. එමනිසා පඤ්ඤත්ති සංකල්පය වර්ධනය කර එම අවශ්‍යතාව සපුරාගෙන ඇති බව දක්නට ලැබේ. පුග්ගලපඤ්ඤත්තිප්පකරණයට අනුව පඤ්ඤත්ති ප්‍රභේද හයක් දක්නට ලැබේ. එනම්,
01. ඛන්ධපඤ්ඤත්ති
02. ආයතනපඤ්ඤත්ති
03. ධාතුපඤ්ඤත්ති
04. සච්චපඤ්ඤත්ති
05. ඉන්ද්රියපඤ්ඤත්ති
06. පුග්ගලපඤ්ඤත්ති
වශයෙනි.15
මෙහිදී අපට පෙනී යන්නේ ස්කන්ධ, ආයතන ආදී ඒකක මෙන්ම ඒවායේ සමවායෙන් සෑදෙන සමස්තය පඤ්ඤත්තිවලට ඇතුළත් වන බව යි. ඒ අනුව පුද්ගලයා යනු ද පඤ්ඤත්තියකි. නමුත් මෙහි පුද්ගලයා පඤ්ඤත්ති සත්‍ය වශයෙන්ම ඇති ඒවා ලෙස නොසැලකේ. යම්කිසි ඒකක සමූහයකට මිනිසුන් විසින් දෙන ලබන නම් පඤ්ඤත්ති නම් වේ. පුග්ගලපඤ්ඤත්තිප්පකරණාගත පඤ්ඤත්ති පිළිබඳ උක්ත විවරණය අටුවා ග්රන්ථයන්හි තවදුරටත් විස්තර කොට ඇති බව පෙනේ. යම් යම් දේ හැඳින්වීම සඳහා යොදන නාම, පඤ්ඤත්ති වශයෙන් හඳුන්වන අත්ථසාලිනිය එම ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වයි. එනම්,
01. සාමඤ්ඤ නාම
02. ගුණ නාම
03. කිත්තිම නාම
04. ඕපපාතික නාම
වශයෙනි.
පොදු ජනතාවගේ සම්මතයෙන් ජනිත වූ මහාසම්මත ආදි නාම සාමඤ්ඤ නාම් වේ. ගුණනාම යනු ධම්මකථික, විනයධර, ආදි යම්කිසි විශේෂ ගුණයක් පෙන්වන නාමයි. යමෙකුට නම් තබන අවස්ථාවේ දී මොහු අසවල් නම් ඇත්තෙකි ආදි නාම කිත්තිම නාම නම් වේ. අනාදිමත් කාලයකට සිට එන චන්දසුරිය ආදි නාම ඕපපාතික නාමයි. තව ද පඤ්චප්පකරණට්ඨකථාව අට්ඨකථා න්‍යාය සහ ආචාර්ය න්‍යායට අනුව තවත් බෙදීම් කිහිපයක් පවතින බව පෙනේ.
01. උපාදාපඤ්ඤත්ති
02. උපනිධාපඤ්ඤත්ති
03. සමොධානපඤ්ඤත්ති
04. උපනික්ඛිත්තපඤ්ඤත්ති
05. තජ්ජාපඤ්ඤත්ති
06. සන්තනිපඤ්ඤත්ති
වශයෙනි.
යම් යම් දේ සලකාගෙන කරනු ලබන පඤ්ඤත්තිය උපාදාපඤ්ඤත්ති නම් වේ. එහි ප්‍ර
භේද තුනකි. යම් යම් අංග සලකාගෙන කරනු ලබන රථ, ගෙය, යන පඤ්ඤත්ති, සහ චන්දුරිය පරිවර්තනය සලකාගෙන කරනු ලබන කාල දිසා පඤ්ඤත්ති, භූත නිමිති සහ භාවනානිසංස සලකාගෙන කරනු ලබන උග්ගහ නිමිත්ත පටිභාග නිමිත්ත ආදි පඤ්ඤත්ති යනු ඒ ප්‍රභේද තුනයි.17 දෙකක් එකට සංසන්දනය කොට බලා කරනු ලබන්නේ උපනිධාපඤ්ඤත්ති නම් වේ. එහි ද ප්‍රභේද අටක් දක්නට ලැබේ. යමක් අපේක්ෂා කොට සංසන්දනය කරනු ලබන පෙක්ඛුපනිධා පඤ්ඤත්ති, ඡත්තපාණි සත්තපාණි ආදි අතේ ඇතිදේ සලකා බලා කරනු ලබන හත්ථගතුපනිධා පඤ්ඤත්ති, කුණ්ඩලි සිකරි ආදි පැමිණීම් සලකා බලා කරනු ලබන සම්පයුතුනිධා පඤ්ඤත්ති, ධඤ්ඤ සකට සප්පි කුම්භ ආදී එහි ඇතිදේ සලකා බලා කරනු ලබන සමාරොපිතුනිධා පඤ්ඤත්ති, ඉන්දසාලගුහා පිංයුගුහා ආදී සමීපයේ ඇති දෙයක් සලකා කරනු ලබන තබ්බහුලූපනිධා පඤ්ඤත්ති, අපහගාමී ආදී සමාන කොට කරණු ලබන පටිභාගුපනිධා පඤ්ඤත්ති, මණිකටක, වජිරකටක ආදි එයින් විශේෂණ කරන නිසා කරනු ලබන තබ්බිසිට්ඨුපනිධා පඤ්ඤත්ති යනු ඒ අටයි.18 සමොධාන පඤ්ඤත්ති යනු එකතු කිරීම සලකා කරනු ලබන අට්ඨපද පුප්ඵුරාසි ආදී පඤ්ඤත්තියි, උපනික්ඛිත්ත පඤ්ඤත්ති යනු සංඛ්‍යාවාචී වූ තීණිචත්තාරි ආදී පඤ්ඤත්තියි. තජ්ජාපඤ්ඤත්ති නම් ගුණ නාම වූ තේජ උණ්හ කක්ඛල ආදියයි. සන්තති පඤ්ඤත්ති යනු සංඛ්‍යාවක් පදනම් කොට හඳුන්වන ආසීතිකාදී පඤ්ඤත්තියි.19 ඉහත දැක්වූ පඤ්ඤත්තිවලදී සම්මුති පරමත්ථ යන දේශනාවක් සඳහා උපයෝගී වන ප්රඥප්ති ප්‍රකාශ කරණ ලදී. එයින් පරමත්ථ දේශනාවක් කොටස් දෙකකට බෙදේ.
01. සංඛත පරමත්ථ හෙවත් සංස්කාර යථාර්ථය,
02. අසංඛත පරමත්ථ හෙවත් අසංස්කාර යතාර්ථය,
වශයෙනි.
මේ දක්වා සාකච්ඡා කරණ ලද්දේ සංඛත පරමත්ථ සඳහා භාවිත වී ඇති පඤ්ඤත්ති පිළිබඳවයි. අසංඛත පරමාර්ථ සඳහා භාවිත වී ඇති පඤ්ඤත්ති පිළිබඳ ව ද ඉහත අටුවාවේ ම දැකි ය හැකි ය. එහි පඤ්ඤත්ති වර්ග හයක් දක්නට ලැබේ. එනම්,
01. කිච්ච පඤ්ඤත්ති
,
02. සණ්ඨාන පඤ්ඤත්ති,
03. භූමි පඤ්ඤත්ති,
04. පච්චත්ත පඤ්ඤත්ති,
05. අසංඛත පඤ්ඤත්ති,
06.?
කිච්ච පඤ්ඤත්ති නම්, යම් කිසිවෙකුගේ ක්‍රියාව හඳුන්වන භාණක ධම්මකථික ආදි නම් ය. යම්කිසි ද්‍රව්‍යයක ඇති සලකුණු සලකා බලා ඇති කරගනු ලබන ථූල පරිමණ්ඩල චතුරස්ස ආදි ප්රඥප්ති සණ්ඨාන පඤ්ඤත්ති නම් වේ. යම් ප්‍රදේශයක් සලකා කරනු ලබන කාමාවචර, රූපාවචර, කෝසල ආදී ප්රඥප්ති භූමිපඤ්ඤත්තියි. නම් තබන විට දෙන සංඥා නාම පච්චත්ත පඤ්ඤත්ති නම් වන අතර අසංඛත යථාර්ථය ප්‍රකාශ නිරෝධ නිබ්බාන ආදිය අසංඛත පඤ්ඤත්ති නම් වේ.20 මේ අනුව අපට පැහැදිලි වන්නේ මුල් බුදුසමයෙහි මෙන් ම අභිධර්මයෙහි ද නිවන ප්‍රකාශ කළ නොහැකි ධර්මයක් ලෙස සලකා නැති බවයි. අසංඛත යථාර්ථය ප්‍රකාශ කිරීම සඳහාත් යම් යම් ප්රඥප්ති ඇති බව පෙන්වා දෙන මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ථෙරවාද බෞද්ධ සම්ප්රදාය තුළ භාෂාව, සත්‍ය හා යතාර්ථය පිළිබඳ අනුභූතිවාදී මතයක් ගොඩනැංවීම සඳහා ප්රශස්ත උත්සාහයක් ගෙන ඇති බව පෙන්වා දෙයි.21
මෙම සියලු ප්රඥප්ති නැවතත් ඒවායින් පනවනු ලබන දේ තුළ ඇති ස්වභාවය මත තවත් කොටස් හයකට බෙදා ඇත. සමහර ප්රඥප්තියක් යථාර්ථ වශයෙන් ඇති පරමත්ථ දේශනාවට අයත් වූවක් විය හැකි අතර සමහර ප්රඥප්තියක් සම්මුති දේශනාවට අයත් විය හැකි ය. මේ දෙක මිශ්‍රව ඇති අවස්ථා ද ඇත. ඒ ස්වභාවයත් සලකා බලා විජ්ජමාන, අවිජ්ජමාන, විජ්ජමානේන, අවිජ්ජමාන අවිජ්ජමානෙන විජ්ජමාන, විජ්ජමානෙන, විජ්ජමාන, අවිජ්ජමානෙන, අවිජ්ජමාන වශයෙන් ප්රඥප්ති හයක් දක්නට ලැබේ.22 පරමාර්ථ වශයෙන් දැකිය හැකි ස්කන්ධ ධාතු ආයතන ආදිය විජ්ජමාන පඤ්ඤත්ති වන අතර එසේම විද්‍යමාන නොවන මඤ්ච පීඨ ආදිය අවිජ්ජමාන පඤ්ඤත්ති නම් වේ. ඡළභිඤ්ඤා කී විට අභිඥා හය විද්‍යමාන වන නමුත් ඒ ඇති පුද්ගලයා විද්‍යමාන නොවේ. එමනිසා එය විජ්ජමානෙන විජ්ජමාන පඤ්ඤත්ති නම් වේ. එමෙන් ම ඉත්ථි යනු පරමාර්ථ වශයෙන් ඇති දෙයක් නොවේ. නමුත් ශබ්ද පරමාර්ථ වශයෙන් ඇත. එම නිසා ඉත්ථී සද්ද කී විට එය අවිජ්ජමානෙන විජ්ජමාන පඤ්ඤත්ති වශයෙන් හඳුන්වයි. මේ ක්‍රමයට චක්ඛුවිඤ්ඤාණං යන්න විජ්ජමානෙන විජ්ජමාන පඤ්ඤත්ති වන අතර රාජපුත්තො යන්න අවිජ්ජමානෙන අවිජ්ජමාන පඤ්ඤත්ති නම් වේ. මේ බෙදීමට අනුව පැහැදිලි වන්නේ සම්මුති පරමත්ථ දෙක මිශ්‍රව ද පැවතිය හැකි බවයි. එමනිසා යම් ප්රකාශනයක් ඉඳුරාම සම්මුති ප්රකාශනයක් ද පරමත්ථ ප්රකාශනයක් දැයි ප්‍රකාශ කිරීම කල්පනාවෙන් කළ යුතු බව පෙනී යයි. ඉහත දැක්වූ සියලු ප්රඥප්ති පුද්ගල පඤ්ඤත්ති අටුවාවේ සහ අභිධර්මාර්ථ සංග්‍රහයේ දී ප්‍රධාන කොටස් දෙකකට පහත සඳහන් පරිදි බෙදා ඇත.
01. පැනවිය යුතු බැවින් ප්රඥප්තිය
02. පනවන බැවින් ප්රඥප්ති
වශයෙනි.
පරමාර්ථ වශයෙන් දක්නට නොලැබුණත් ඒ ඒ ජනතාව විසින් කියනු ලබන මේසය, පුටුව, රථය, ආදී පැවතුම් වේද ඒවා පැනවිය යුතු බැවින් පඤ්ඤත්ති නම් වේ. එම පැනවීම් සඳහා යොදාගනු ලබන නාම නාමකර්ම නාමධෙය නිරුක්ති අභිලාප ආදිය ඉහත පැනවීම් කරණ නිසා පඤ්ඤත්ති නම් වේ.23 මෙම ප්‍රධාන ප්‍රභේද දෙක පසුකාලීන ප්රකරණ ග්රන්ථ වූ අභිධම්මත්ථ විකාසිනි, පරමත්ථවිනිච්ඡය ආදී පොත්වල දී අත්ථපඤ්ඤත්ති, නාමපඤ්ඤත්ති වශයෙන් හඳුන්වා දී ඇති අතර ඒ දෙකට අන්තර්ගත වන පඤ්ඤත්ති පිළිබඳව සෑහෙන විස්තරයක් ඉදිරිපත් කොට ඇත. ඉහත දක්වන ලද පඤ්ඤත්ති දෙකේ පළමුවැන්න අත්ථපඤ්ඤත්ති වශයෙන් මෙම පොත්වල දැක්වෙන අතර දෙවැන්න නාමපඤ්ඤත්ති වශයෙන් දැක්වේ. උක්ත කරුණු ආශ්රයෙන් ප්‍රකට වන්නේ භාෂාව මනෝමූලික වන අතර ද්‍රව්‍යමය සංඝටනාවෙන් විද්‍යමාන වන බවයි. මෙම භාෂාව මාධ්‍ය කරගෙන කරනු ලබන ප්රකාශනයක් අවම වශනේ විග්රහ කිරීම සම්මුති නමින් සහ උපරිම වශනේ විග්රහ කිරීම පරමත්ථ වශයෙන් දැක්විය හැකි ය. මේ සඳහා උපයුක්ත කරගනු ලබන භාෂාව පොදු සම්මුතියක් වන අතර එය ප්රඥප්ති වශයෙන් හැඳින්වේ. මෙම ප්රඥප්ති සම්මුති පරමාර්ථ යන දෙවැදෑරුම් ප්රකාශනයන් සඳහා ම උපයෝගී වන අතර පරමාර්ථයන්හි සංඛත අසංඛත යන පරමාර්ථ ද්වය ම මේ මගින් ප්‍රකාශ කළ හැකි ය. එසේ නමුත් එය වටහා ගැනීමේ දී වඩා ප්‍රවේසම් විය යුතු ය. හුදු කේවල ශබ්ද මගින් පමණක් අර්ථය සලකා ගැනීම අවදානම් වන අතර ප්‍රකරණය හෙවත් ශබ්ද, පරිසරය ආදි අංග පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රකාශයක අරුත් වටහා ගත යුතු ය. උක්ත කරුණු තුළින් ප්‍රකට වන්නේ භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් ථෙරවාද ආභිධම්මික විවරණය තුළ අතිශයින් වැදගත් දර්ශනයක් ඉදිරිපත් කොට ඇති බවයි.
පාදක සටහන්
1. ධම්මසඞ්ගණිප්පකරණ, පි.294. බු.ජ.ත්‍රි.මු.
2. ධම්මසංගණීප්පකරණ
, පි. 300. බු.ජ.ත්‍රි.මු.
3. එම,
4. අත්ථසාලිනී, පි. 280. හේ.මු.
5. අභිධම්මත්ථවිභාවිනී, පි. 396. හේ.මු.
6. එම, 397.
7. ධම්මසංගණිප්පකරණය, පි. 480. බු.ජ.ත්‍රි.මු.
8. අභිධර්මාර්ථ සංග්‍රහ පුරාණ සන්නය, පඤ්ඤාමොලි සංස්කරණය, 1887. පි.8
10. කථාවත්ථුප්පකරණය, 1, පි. 180. බු.ජ.ත්‍රි.මු.
11. පඤ්චප්පකරණට්ඨකථා, පි.130-104. හේ.මු.
12. මිලින්දපඤ්හො, ආනන්දමෛත්‍රී නාහිමි සංස්කරණය කොළඹ, 1962, පි.20-22.
13. අභිධර්මාර්ථ සංග්‍රහය, 8. යූ.බී. රාජකරුණා, විද්‍යාලංකාර 1960.
14. ගල්මංගොඩ සුමනපාල, 1993, භාෂාව සත්‍යය හා යථාර්ථය පිළිබඳ ථෙරවාද මතය භාෂා හා සාහිත්‍ය විමර්ශනාත්මක ලිපි, සිතුමිණ මුද්‍රණාලය, නුවර, පි. 58
15. පුග්ගලපඤ්ඤත්තිප්පකරණ, 1. පි. බු.ජ.ත්‍රි.මු.
16. අත්ථසාලිනී, පි. 326 -327.
17. පඤ්චප්පකරණට්ඨකථා, පි. 19. හේ.මු.
18. එම,
19. එම,
20. එම,
21.
ගල්මංගොඩ සුමනපාල, භාෂාව හා යථාර්ථය පිළිබඳ ථෙරවාද මතය භාෂා හා සාහිත්‍ය විමර්ශනාත්මක ලිපි, 1993 සිතුමිණ.
22. පඤ්චප්පකරණට්ඨකථා, පි. 20. අභිධර්මාර්ථ සංග්‍රහ පි.321.
23. පඤ්චප්පකරණට්ඨකථා, අභිධර්මාර්ථ සංග්‍රහ. පි. 319-321
වෙනත් වෙබ් අඩවියක පළ කිරීමෙන් වළකින්න...