01. පාලිය ලිඛිත භාෂාවක් බවට පත් වූ අයුරු
මහාචාර්ය ගෞරවාර්හ වෑගම පියරතන හිමි.
(විද්‍යොදය ධර්මශාස්ත්‍රීය සංග්‍රහය - 2010)
ක්‍රි.පූ. 06 වන සියවසේ පමණ උත්තර භාරතයේ ශිෂ්ට සමාජයේ ව්‍යවහාර කරණ ලද මාගධී භාෂාව විවිධ ප්‍රාදේශීය භාෂාවන්ගෙන් මිශ්‍ර වී විකාශයට පත් වූ අතර, අද අප පාලි නමින් හඳුන්වනු ලබන්නේ එසේ විකාශයට පත් වූ භාෂාව යි. ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් පාලි භාෂාව ක්‍රි.පූ. 600 සිට ක්‍රි.ව. 1 අතර කාලය වූ මධ්‍යතන යුගයේ මුල් භාගයට අයත් බව භාෂාවේදී විද්වතුන්ගේ පිළිගැනීම යි.1 එම යුගයට අයත් ලෙස සැලකෙන සමකාලීන භාෂාවන් අතර සෞරසේනී, මහාරාෂ්ට්‍රී, පෛශාචී ආදී භාෂා ගැනේ. පැරණි භාරතය ශිලා ලේඛන ත්‍රිපිටක පෙළ හා අටුවා ප්‍රකරණ ග්‍රන්ථ ආදියෙහි භාෂාව පාලිය ලිඛිත භාෂාවක් බවට පත් වූ ආකාරය ප්‍රකට කරයි.
පාලි භාෂාව විචාරාත්මක ව විමසා බැලීමේ දී එහි විවිධ භාෂා ලක්ෂණ විද්‍යමාන වන බව දක්නට ලැබේ. එම විවිධත්වය සහ සංකීර්ණත්වය පාලිය පිළිබඳ වාග් විද්‍යානුකූල පර්යේෂණ පැවැත්වූවන්ගේ විමතියට ලක් වී ඇත. මේ නිසා පාලි භාෂාවේ ප්‍රභවය පිළිබඳ ස්ථිරව ම පිළිගත හැකි අදහසක් ඉදිරිපත් කිරීමට පවා නො හැකි වී තිබේ.
පාලි භාෂාව බුදුරජාණන් වහන්සේගේ දේශනා මාධ්‍යය මත රඳා පැවතියක් බැව් බොහෝ දෙනාගේ අදහස වුවත් ප්‍රාග් බුද්ධකාලීන මෙන්ම පශ්චාත්කාලීන වෙනත් භාෂාවන් පෝෂණය වෙමින් පැවතියක් බව කිව හැකි ය. ත්‍රිපිටක සාහිත්‍යයේ ඇතැම් කොටස් සලකා බැලීමේ දී ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතයේ අට්ඨක සහ පාරායන වර්ගයන්හි පැනෙන භාෂාව ඉතා පැරණි ය.
ඒ අතර ඛුද්දක නිකායේ ම ඇතැම් ග්‍රන්ථයන්හි ද අභිධර්ම පිටකයේ එන පාඨයන්හි පශ්චාත් බුද්ධකාලීන භාෂා ලක්ෂණ දැක්ක හැකි ය. මෙම සංකීර්ණත්වය අනුව පාලි භාෂාව එක් දේශයක පමණක් වර්ධනය වූවක් නොව, භාරතයේ සෙසු භාෂාවන්ගේ ද මිශ්‍රණයෙන් පෝෂිත වූවක් බැව් අපරදිග උගතුන්ගේ පිළිගැනීම ය. එහෙයින් ඉන්දියාවේ තත්කාලීන සෙසු භාෂාවන් හා සැසඳීමෙන් පාලියේ දක්නා විවිධ භාෂා ලක්ෂණ සෙවිය යුතු ය.
බාහිර පෙනුම අනුව පාලි භාෂාව හා සමාන ලෙස පැනෙන ප්‍රාකෘත භාෂා රාශියක් ම උත්තර භාරතයේ ක්‍රි. පූ සියවස්වල පැවතුණි. භාෂා විකාශනයේ දී සිදු වූ වෙනස්කම් සෙවීමට නම් එහි අභ්‍යන්තර ලක්ෂණ සෙවිය යුතු ය. ක්‍රි.පූ. 6 හෙවත් බුද්ධකාලයට ආසන්න යැයි සිතිය හැකි කාලයක ලියැවුණු ශිලා ලේඛන දෙකක ඇතැම් කොටස් පහත දැක්වේ.
01. ජෙතවණං අනාථපිණ්ඩිකෙන කොටිසන්ථතෙන දෙති ඛෙමා
02. ඉයං සලිලනිධනෙ බුධස භගවතො සකියානං සුකිති භතානං සභගිනිකානං සපුදතලනං
ඉහත දක්වන ලද ශිලාලිපි දෙකින් පළමු වැන්න සැවැත් නුවර ජෙතවනාරාමයේ තිබී සොයා ගන්නා ලද්දකි. එය වර්තමාන පාලි භාෂාවට බොහෝ සමාන වෙතත් "ජෙතවණ" යන වචනයෙහි "ණ" කාරය පාලි භාෂාවට හුරු බවක් නොවේ. පාලියෙහි එන "ජෙතවන" යනුවෙන් දන්තජ නකාරයෙන් යෙදී ඇත. "අනාථපිණ්ඩිනෙ ජෙතවනං දෙති" යන තැන ඇති ව්‍යාකරණ ලක්ෂණය ද පාලි රචනා ශෛලියට අනුව නිවැරදි නොවේ.
දෙවැනි ශිලා ලිපියත් පාලියත් අතර සමානකම් බෙහෙවින් අඩු ය. "සලිලනිධනෙ" යන්නෙහි පාලි වචනය "ශරීරනිධාන" යනුයි. මූර්ධජ ර යන්න දන්තජ ල යන්න වීමත්, ප්‍රථමා විභක්ති ඒකවචනයක් මිස පාලි භාෂාවේ ලක්ෂණයක් නොවේ. "සපුතදලනං" යන්න පාලියෙහි "සපුත්තදාරානං" යන වචනයෙහි ප්‍රාකෘත ස්වරූපය යි. මෙම ශිලා ලේඛන දෙක ම පාලි භාෂාවේ ආදිතම ලිඛිත සාධක වශයෙන් සැලකිය හැකි ය.
බුද්ධකාලයට සමීප වකවානුවකට අයත් ලේඛන වශයෙන් මීළඟට අපට සැලකිය හැකි වන්නේ ක්‍රි.පූ. 3 වන සියවසේ දී පමණ ලියන ලදැයි සැලකෙන අශෝක ශිලාලේඛනයන් ය. ඉන්දියාවේ සෑම පළාතකම වාගේ තිබී සොයා ගන්නා ලද අශෝකාධිරාජයාණන්ගේ ශිලාලේඛන රාශියක් ම දැනට හමු වී තිබේ. එම ශිලාලිපිවල විද්‍යමාන භාෂා ලක්ෂණ අනුව ඒවා ප්‍රධාන වශයෙන් නැගෙනහිර හා බටහිර යනුවෙන් කොටස් දෙකකට වර්ග කළ හැකි ය.
"අඨවෂාභිෂිතෂා දෙවානං පියෂා පියදෂිනෙ ලාජිනෙ කලිග්‍යා විජිතා. දියඪ මාතෙ පාන ෂතෂහශෙ...යෙ ඉයං ධංමලිපි දෙවානං පියෙන පියදසිනා ලාජිනා ලිඛාපිතා"2
මෙහි භාෂාව බොහෝ දුරට පාලිභාෂාවට සමාන වේ. එම ශිලා ලිපිය පහත දැක්වෙන පාලි පාඨයත් සමග සසඳා බලන්නෙකුට එම කරුණ මැනවින් තහවුරු කර ගත හැකි ය. "අට්ඨවස්සාභිසිත්තස්ස දෙවානම්පියස්ස පියදස්සිනො රාජිනො කාලිංගා විජිතා. දියඩ්ඪමත්තං පාණසතසහස්සං...යා අයං ධම්මලිපි දෙවානංපියෙන පියදස්සිනා රාජිනා ලිඛාපිතා",
පාලි ව්‍යාකරණයෙහි අතීත කෘදන්ත පදයක් යෙදී ඇති තැන්හි එහි කර්තෘ යෙදී ඇති වචනය තතියා විභක්තියෙන් නොව ඡට්ඨී විභක්තියෙන් යෙදේ. එය හැඳින්වෙන්නේ කෘද් යෝගයෙහි ජට්ඨී යනුවෙනි. එම වාක්‍ය ප්‍රයෝගය මෙම ගිරි ලිපි පාඨයෙහි විද්‍යමාන වේ.
මුල් යුගයෙහි දී පාලියෙන් ලියැවුණු ලිපිබද්ධ සටහන් කිසිවක් දක්නට නොලැබීම අභාග්‍යයකි. බුද්ධකාලයේ පටන් ලංකාවේ වළගම්බා රාජ්‍ය කාලය දක්වා බුද්ධ ධර්මය පැවත ආවේ මුඛ පරම්පරාවෙනි. ප්‍රථමයෙන් ම පාලි ත්‍රිපිටක සාහිත්‍යය ග්‍රන්ථාරූඪ කරණ ලද්දේ වළගම්බා රාජ්‍ය සමයෙහි මාතලේ ආලෝක විහාරයෙහි දී බව මහාවංශාගත වාර්තාවලින් සනාථ වේ. බ්‍රාහ්මණ වංශිකයන්ගේ විරුද්ධත්වයත් මුස්ලීම් ආක්‍රමණයත් නිසා පාලිභාෂාව භාරතයෙන් අතුරුදහන් වූ නමුත්, ශ්‍රී ලංකාවේ දී මැනවින් ආරක්ෂා වී පසුව, විදේශ රටවල පවා ව්‍යාපත්ව විය. ථෙරවාදී බුදුදහම මගින් පාලි භාෂාව මියන්මාර් (බුරුමය), සියමය, කාම්බෝජය ආදී අග්නිදිග ආසියාතික රටවල් කිහිපයක පැතිරී ගියේ ලංකාවේ සිට ය. නූතන යුගයේ බුදුදහමත් සමග පාලි භාෂාව සාහිත්‍යයික භාෂාවක් වශයෙන් ලෝකයේ නොයෙක් රටවල ව්‍යාප්ත වෙමින් පවතී. පාලි භාෂාව ලේඛනය සඳහා එයට ම සීමා වූ අක්ෂර මාලාවක් නොමැති බැවින් එක් එක් රටවල දී එම රටවල ව්‍යවහාර වන අක්ෂරවලින් ලියනු ලැබේ.
ලේඛන කලාව බුද්ධකාලයේ භාරතයේ ප්‍රචලිතව පැවතුණත් උන්වහන්සේ ජීවමාන කාලයේ බුදුදහම ලේඛනගත වූ බවට සාධක හමු නොවේ. බුදුරදුන්ගේ ශ්‍රාවකයන් ඒවා වාචෝද්ගත කරගත් බවට සාධක පෙළෙහි හමු වේ. දුර පළාතක සිට සම්බුදුරදුන් හමු වීමට පැමිණි සෝණ කෝලිවිස තෙරුන් වහන්සේගෙන්, ධර්මය අවබෝධ කර ගත්තේ කෙසේ දැයි බුදුරජාණන් වහන්සේ විමසූ කල්හී සෝණ තෙරුන් සුත්ත නිපාතයේ සොළස අෂ්ටක වර්ගය ම ඒ අයුරින් ම ප්‍රකාශ කර ඇත. එය අසා සිටි බුදුරදුන් සෝණ තෙරුන්ගේ ගායනය පිළිබඳ ව ප්‍රශංසාවක් පවා කර ඇත.3
බුද්ධවචන බොහෝමයක් විස්තර ලෙස කටපාඩම් කළ බහුශ්‍රැත භික්ෂූහු එකළ වාසය කළහ. සුත්තනිපාතයේ අට්ඨක හා පාරායන වර්ග දෙක පාලි භාෂාවේ පැරණිම කොටස් පිළිබිමු කරණ බව පිළිගෙන ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමුවරට ත්‍රිපිටකය සංගායනා කරණ ලදුව දෙවන හා තෙවන සංගායනාවල දීත් නැවත වරක් සංගායනා කොට ඇති බව ථෙරවාදී වාර්තාවලින් ප්‍රකට වේ. තෘතීය ධර්ම සංගීතියේ දී රචනා කරණ ලදැයි සැලකෙන කථාවත්ථුප්පකරණයේ භාෂාව බොහෝ සෙයින් මාගධී ප්‍රාකෘත ලක්ෂණ පිළිබිඹු කරයි.
"අත්ථි පුග්ගලො සච්චිකට්ඨ පරමට්ඨවසෙන, නහෙවං වත්තබ්බෙ"4
මුඛ පරම්පරාවෙන් රැගෙන ආ ත්‍රිපිටකය මහින්දාගමනයෙන් පසු ලංකාවේ දී ග්‍රන්ථාරූඪ විය. ලංකාවේ දී ලියන ලද මුල් ම පාලි සාහිත්‍ය කෘතිය දීපවංශය යි. එය ක්‍රි.ව. 4 වන සියවසේ දී පමණ රචනා කරණ ලද්දක් ලෙස පිළිගෙන ඇත.
ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථ අතුරෙන් මහාවිහාර සම්ප්‍රදායික භික්ෂූන් විසින් නියත ලෙසින් ම මෑත භාගයට අයත් යැයි සලකන්නේ කථාවත්ථුප්පකරණය යි. කථාවත්ථුවේ ආරම්භය සලකන විට අශෝක කාලයෙන් අතීතයට යා හැකි වුවත් ඇතැම් විට එහි පසුව කරණ ලද එකතු කිරීම් තිබිය හැකි වුවත් එහි ප්‍රධාන ශරීරය ධර්මාශෝක කාලයේ දී රචිත යැයි පිළිගත හැකි ය. මේ කථාවත්ථු භාෂාවේ යම් කිසි වෙනසක් තිබේ නම් එය ඉතා සැලකිය යුතු ය. මිලින්ද පඤ්හයේ එන සාකච්ඡා ක්‍රමයට වඩා කථාවත්ථුවේ භාෂාව අතිශයින් ශාස්ත්‍රීය ක්‍රමයක් බව පෙනේ.
"සච්චිකට්ඨ පරමත්ථෙන න හෙවං වත්තබ්බෙ, හඤ්චි ආමන්තා හෙවං පටිජානන්තං හෙවං නිග්ගහෙතබ්බෙ උපලබ්භති කෙහිචි පුග්ගලො එසෙස එකට්ඨෙ"
යනාදී යෙදුම් බලන විට කථාවත්ථුප්පරණයේ භාෂාව සෙසු පාලි පොත්වල එන භාෂාවට වඩා වෙනස් බව පෙනේ. මාගධී සහ අර්ධමාගධී ලක්ෂණ වශයෙන් ගැණෙන පුල්ලිංග සහ නපුංසක ලිංගික ප්‍රථමා ඒකවචනයෙහි ඒකාරාන්ත රූප ලැබීම කථාවත්ථුප්පකරණයේ අනික් පාලි පොත්වලට වඩා වැඩියෙන් දක්නට ලැබේ.
කාලයෙන් සමාන වුවත් අශෝක ශිලා ලේඛනවල භාෂාව කථාවත්ථුවේ දක්නට ලැබෙන භාෂාවෙන් වෙනස් බව දැක්ක හැකි ය. ඒ ඒ දේශ අනුව යම් වෙනස්කම්වලින් යුක්තව ඇති අශෝක ශිලාලේඛන සියල්ල ගැන සලකා බලන විට අශෝක යුගයේ සාර්වභෞම පොදු භාෂාවක් (Lingua Franca) පැවති බව ගයිගර් මහතා පෙන්වා දෙයි.4 මේ පොදු භාෂාවේ ශිලා ලේඛනවල එන ලිඛිත රූපය සමහර විට ලියා ඇති ලෙසින් ම උච්චාරණය නො කරන්නට ඇත. විශේෂයෙන් ම නො ලියන ලද සංයුක්තාක්ෂර උච්චාරණය කරන්නට ඉඩ තිබේ. ඒ සාර්වභෞම භාෂාව උච්චාරිත වූ ස්වරූපයෙන් ම කථාවත්ථුප්පකරණයේ එන භාෂාවට දැන් පෙනෙනවාට වැඩියෙන් ආසන්න වනු ඇත. කථාවත්ථුවේ ඇත්තේ වඩා ස්ථිර වූ ශාස්ත්‍රීය භාෂාවකි. ශිලා ලේඛනවලට ඇත්තේ ඊට වඩා වෙනස් වූ කතා ව්‍යවහාරයට වඩා ආසන්න වූ ලිඛිත භාෂාවකි.
මේ සියල්ල ම ගැන සලකා බලන විට පාලි භාෂාව බුද්ධකාලීන උත්තර භාරතයෙහි ඉතා විශාල ප්‍රදේශයක පැතිර පැවති ඉතාමත් පැරණි වූත් ශාස්ත්‍රීය කටයුතු සඳහා භාවිත වූත් භාෂාවක් බව කිව හැකි ය. කිසිම ප්‍රකෘතියක ග්‍රන්ථාරූඪ වීම පාලියේ ග්‍රන්ථාරූඩ වීම තරම් පැරණි නැත. ඉතා මහන්සියෙන් මූල ස්වරූපයෙන් කට පාඩම් කරගෙන ආ පාලිය ඒ ස්වරූපයෙන් ග්‍රන්ථාරූඪ කර පවත්වාගෙන එන්නට ගත් උත්සාහයක් අද ඇති පිටක ග්‍රන්ථයන්ගෙන් දැක්ක හැකි ය. පැරණි බ්‍රාහ්මී ශිලා ලේඛනවල ඇත්තේ මේ ශාස්ත්‍රීය භාෂාවට වඩා ඉක්මණින් වෙනස් වී ගිය කථා ව්‍යවහාරයට වඩා ආසන්න වූ භාෂා ය. පාලි භාෂාව ශාස්ත්‍රීය භාෂාවක් වූ නමුදු ඡන්දස (වෛදික භාෂාව) මෙන් මෘත භාෂාවක් නො වන්නට ඇත. එය මගධ කෝසල උජ්ජයිනී ආදී විශාල ප්‍රදේශයක ජනයාට තේරුම් ගත හැකි ජීව භාෂාවක් වන්නට ඇත. එය ශිලා ලේඛනගත භාෂාව තරම් වෙනස් නොවූවත් හෙමින් වෙනස් වූ භාෂාවකි. ඒ වෙනස තරමක් දුරට කථාවත්ථුප්පකරණයෙන් දැනගත හැකි ය. මෙම භාෂාවේ ඒ ඒ ප්‍රදේශවල සුළු සුළු වෙනස්කම් ද තිබෙන්නට ඇත. ලංකාවට ලැබී ඇත්තේ බටහිර ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙන භාෂාවකි. මේ භාෂා ලක්ෂණ ත්‍රිපිටකයෙහි විද්‍යමාන වේ. පාලියට වඩා බොහෝ මෑත කාලයක ලියන ලද ව්‍යාකරණ ග්‍රන්ථවල දැක්වෙන මාගධී ලක්ෂණ එහි නැති වුවත්, එය මාගධී යැයි කිව හැකි ය. මගධාධිපති ධර්මාශෝකයන්ගේ මගධයේ පිහිටි ශිලාලිපිවල පවා මේ මාගධී ලක්ෂණ සම්පූර්ණයෙන් නොමැත. අනාර්යයන් විසින් පවා ආගමික ලියවිලි සඳහාත් පූජ්‍ය කටයුතු සඳහාත් බොහෝ විට අනාර්යය භාෂා යොදා ගන්නට ඇත. මෙසේ සකස් වූ ලිඛිත භාෂාවක් වශයෙන් පාලිය ද භාවිත වන්නට ඇත.
පාදක සටහන්
1. තුලනාත්මක වාග් විද්‍යාව, ආනන්ද ජයසේක සහ චිත්‍රා ජයසේකර, 1970, සීමා සහිත ලේකහවුස්, ඉන්වෙස්ට්මන්ට්ස්, සමාගම, 190 පිට.
2. අශෝක ශිලා ලේඛන, ඤාණවිමල නාහිමි, බෙල්ලන, මාධව මුද්‍රණ ශිල්පියෝ, 1966, කොළඹ, 46 පිට.
3. ආයස්මා සොණො භගවතො පටිස්සුත්වා සොළස අට්ඨක වග්ගිකානි සබ්බානෙව සරෙණ අභණි, උදාන පාලි, හේවාවිතාරණ මුද්‍රණය, 25 පිට.
4. කථාවත්ථුප්පකරණය, ත්‍රිපිටක බුද්ධ ජයන්ති මුද්‍රණය, බෞද්ධකටයුතු දෙපාර්තමේන්තුව, 22 පිට.
5. එම - 30 පිට.
6.Pali Literature and Language, New Delhi, 1978, p.6.
වෙනත් වෙබ් අඩවියක පළකිරීමෙන් වළකින්න...
02. පාලි භාෂාවේ විපර්යාස ලක්ෂණ
මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි.
(සාරදා ශාස්ත්‍රීය සංග්‍රහය - 2000)
භාෂාව වූ කලි නිරන්තර විපර්යාසවලට ලක්වන්නකි. එය යුගයකින් තවත් යුගයකට අවතීර්ණ වීමේ දී ප්‍රමාණාත්මක සමතුලිතතා රහිතව වුව ද නිරායාශයෙන් ම සිදුවන්නකි. ලිඛිත භාෂාව බෙහෙවින් භාවිත වන්නේ උගතුන් අතර නිසා එහි ව්‍යාකරණ රීති ද වැඩේ. එනිසාම එහි වෙනස්කම් සිදුවන්නේ ද අඩුවෙනි. ව්‍යවහාරික භාෂාව උගත් නූගත් කවුරුන් අතරත් භාවිත වන අතර එහිදී ව්‍යාකරණය කෙරෙහි එතරම් අවධානයක් යොමු නොවේ. එනිසාම ශීඝ්‍ර විපර්යාසවලට ද භාෂාව හසු වේ. අක්ෂර උච්චාරණ පහසුව හෝ නිරවද්‍යතාව ගැන නොසැලකීම නිසා මෙබඳු වෙනස්කම් විශේෂයෙන්ම වන බව කිව යුතුය. ලොව කිසිම භාෂාවක් පරම්පරා දෙකක් එකසේ නොපවතී. ශබ්දෝච්චාරණයේ දී සිදුවන වෙනස්කම් ඊට හේතු වේ. තව ද භාෂාවක සිදුවන වෙනස්කම් උගතුන් අතර යෙමිනුදු නූගතුන් අතර ඉතා ශීඝ්‍රයෙනුදු සිදුවේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ වාචිකාවයවයන් සම්බන්ධයෙන් කෙරෙන ශික්ෂණයයි. කුඩා අවධියේ ගුරු ආශ්‍රයකින් කෙරෙන වාචිකාවයවයන්ගේ ශික්ෂණයක් නූගතුන් අතර සිදු නොවේ. එබැවින් ඔවුන්ගේ බස හැසිරවීමෙහිලා උච්චාරණ දුර්වලතා නිරායාශයෙන් ම පවතී. ඔවුන්ගේමුඛ්‍ය ආවශ්‍යකතාව වන්නේ සිය සිතැඟි තවත් කෙනෙකුට පැවසීම පමණක් වන හෙයින් අක්ෂර, පද, වචන ගිලිහී යාම ඔහුහු එතරම් බැරෑරුම් කොට නොසලකති. උගතුන් අතර වාචිකාවයවයන්ගේ ශික්ෂණයක් කෙරෙන බැවින් භාෂාත්මක විපර්යාස සිදුවන්නේ අඩු වශයෙනි. ලේඛනයේ දී භාෂාත්මක විපර්යාස සිදු නොවන බවක් මෙයින් අදහස් නොවේ. එහිදී සිදුවන්නේ අනුක්‍රමයෙන් දීර්ඝ කාලයක් තුළදී ය. භාෂාවක් මළ භාෂාවක් බවට පත්වන තුරු පමණක් නොව එම තත්වයට පත්වී භාවිතයෙන් ඉවත් වූ පසු ද අඩු වශයෙන් වෙනස්කම් සිදු වේ. මෙම විපර්යාස ලක්ෂණ නිසා භාෂාවේ භාවිතය හා ව්‍යාකරණමය නීති රීතිවල ද යම් යම් සංකීර්ණතා ඇති වේ. මෙම ලිපියේ අරමුණ වන්නේ පාලි භාෂාව සම්බන්ධයෙන් සිදුව ඇති එබඳු වෙනස්කම් පිළිබඳව විවරණයක් කිරීමය.
පාලි භාෂාව සජාතීය භාෂාවක් නොවේ. එහි ඒකාකාරී විධි ක්‍රමයක් නැත. අක්ෂර පද වචන කවර කාලයක කිනම් දේශයකින් උද්භව වී දැයි කිව නොහැකිය. පාලියේ ජන්මභූමිය පිළිබඳව විවිධ මත විචාරකයන් විසින් පළ කොට ඇත. විවිධ ජනපදවලින් පැමිණි අය බුදුසසුනට ඇතුළු වූහ.2 එනිසාම ඔවුනොවුන්ගේ භාෂා ලක්ෂණ ද පාලි භාෂාවට ඇතුළු වූ බව පැහැදිලි වේ. බුදුරදුන් සිය දහම ඡන්දසට නැඟීමට ඉඩ නොදීමෙනුත් තම තමන්ගේ භාෂාවලින් එය හැදෑරීමට ඉඩ දීමෙනුත් පෙනී යන්නේ භාෂාත්මක විපර්යාස උන්වහන්සේ විසින් ඉවසන ලද බවයි. පාත්‍රය හැඳින්වීම සඳහා විවිධ ජනපදවල විවිධ වචන භාවිත වී ඇති බව පෙන්වා දී ඇත. පත්ත, පාති, පොණ, පිසිල, සරාව, ධාරොප යනාදී නම් ඇති අතර එහිදි නම නොව අර්ථයම වැදගත් වන බව වදාරා ඇත.3
පාලි භාෂාවේ දක්නට ලැබෙන විපරිණාමීය ලක්ෂණ කෙරෙහි එකල ව්‍යවහෘත ප්‍රාදේශීය භාෂාවල බලපෑම විශේෂ හේතුවක් විය. අශෝකගේ ගිර්නාර් (බස්නාහිර) ජෞගඪ (නැගෙනහිර) මාන්සෙග්රා (උතුර) යන ලිපි තුන එකම අදහසක් දීමට ලියා ඇති අතර එහි භාෂාවේ ප්‍රාදේශීය වෙනස්කම් විද්‍යමාන වේ.4
"ඉයං ධංමලිපි දෙවානං ප්‍රියෙන ප්‍රියදසිනා රාඤා ලෙඛාපිතා" (ගිර්නාර්)
"ඉයං ධංමලිපි....දෙවානං පියෙන පියදසිනා ලාජිනා ලිඛාපිතා" (ජෞගඪ)
"අයි ධ්‍රමලිපි දෙවන ප්‍රියෙන ප්‍රියද්‍රසිනා රාජින ලිඛපිත" (මාන්සේහ්රා)
මෙම ර, ල භාවිතය ප්‍රාදේශීය වශයෙන් වෙනස් වී ඇත. පාලි භාෂාවේ දක්නට ලැබෙන වෛකල්පක රූප හෙවත් සමානාර්ථයේ යෙදෙන විවිධ රූප ප්‍රාදේශීය විෂමතා නිසා හෝ වෙනත් හේතුවක් නිසා පැමිණි ඒවා ය. එක සාමන පර්යාය වචන රාශියක් යෙදීම බුද්ධ දේශනාවේ ලක්ෂණයක් ද වූ අතර එසේ වීමට කරුණු කීපයක් හේතු වූ බව පෙනේ. ගම්භීරස්ථානයන්ට සැපයෙන උත්තානීකරණයක් ලෙස ද වාක්‍ය රටාවේ විධිමත් බව සඳහා ද වැඩි වශයෙන් ම පර්යාය වචන යොදන්නට ඇත. "අපායං විනිපාතං නිරයං උපපජ්ජති" "සග්ගං සුගතිං ලොකං උපපජ්ජති" "ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි" යනාදී වශයෙන් යෙදී ඇති අයුරු පැහැදිලිය. ප්‍රාදේශීය වචන භාෂාවට ඇතුළු වීමේ ස්වභාවය අනුව එහි විකාශය ද ශීඝ්‍ර වේ.
පර්යාය වචන
සත්වයා: සත්ත - පාණ - භූත - ජීව - සරීර - දෙහී - පුග්ගල - ජන්තු - ජන - තථාගත
ජලය: වාරි - උදක - දක - ක - තොය - අම්බු - සලිල - ජල - පානීය - ආප - නීර
අපචාරී ස්ත්‍රීය: වෙසී - ගණිකා - රූපූපජීවිනී - වණ්ණදාසී - කුලටා - බන්ධකී
මේ හැරුණු විට පුරාණ ඉන්දු ආර්ය ශබ්ද නොයෙක් ආකාරයට මධ්‍යතන යුගයට පැමිණ ඇත. පාලි ස්වර පද්ධතිය වර්ණ අටකින් යුක්ත වුව ද සංස්කෘත වර්ණ මාලාවේ තිබෙන දාහතරක අව්‍යතාව ඉන් සපුරා ගනී. නිදසුනක් ලෙස සංස්කෘත ශබ්ද විවිධ නයින් පාලියට පැමිණ ඇති අයුරු හඳුනා ගැනීම සුදුසු ය.
|
> පුඨවි
|
කෘච්ඡ්‍ර
|
> කිච්ඡ
|
තවත් සමහරක් වචන යුග දෙකක හෝ ප්‍රාදේශීය විෂමතාව නිසා භාෂාවට එකතු වූ ඒවා ය. යට්ඨි - ලට්ඨි (සැරයටිය) අක්ඛි - අච්ඡි (ඇස) අසුයා - උසුයා (ඊර්ෂ්‍යාව) අලික - ව්‍යලීක (මුසාව) ඉත්ථී - ථී (ස්ත්‍රීය) යනාදිය උදාහරණය. මෙහිලා දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් නම් ඇතැම් ඒවා ඊට අනුරූපී ස්ථාන ආශ්‍රය කිරීමය. මේවා වාක්‍ය ප්‍රයෝග ලෙස හඳුනාගත හැකිය. තීක්ෂ්ණ (සං) යන පදයෙන් තික්ඛ - තිඛිණ - තිණ්හ යන වචන තුනම බිඳී එයි. එහෙත් එවා පෙළෙයි යෙදී ඇත්තේ එක්තරා න්‍යායකට මිස අවිශේෂයෙන් නොවේ. තික්ඛපඤ්ඤා යනුවෙන් යෙදී ඇතත් කිසි විටෙකත් තික්ඛදුක්ඛෙන යනුවෙන් නොයෙදේ. තිඛිණෙන ආයුධෙන යන්න යෙදී ඇත්තේ තිණ්හසත්ථෙන යනුවෙනි. තවද අට්ඨකථා මිස අත්ථකථා නොවීය. අට්ඨකවග්ග මිස අත්ථකවග්ග නොවුණු අතර අත්ථසංහිතා යන්න අට්ඨසංහිතා යනු ද නොවීය. මෙබඳු විශේෂ ප්‍රයෝග කවර භාෂාවක වුව ද දැකිය හැක. නිදසුනක් ලෙස සිංහල ව්‍යවහාරයෙහි අර්ථ විසින් සමාන වුවත් චන්ද්‍රාලෝකය යන්න සඳලෝකය යනුවෙන් නොයෙදේ. ආහාරපාන හෝ කෑම් බීම් යන්න කෑම් පාන හෝ ආහාර බීම යනුවෙන් නොයෙදේ. එලෙසින් පාලියේ ද ඉහත දක්වන ලද ප්‍රයෝග දක්නට ලැබෙනුයේ භාෂාරටාවන්හි ස්වරූපය නිසාය.
පාලි භාෂාවට ආවේණික වූ ආගමික විෂය සීමාව ඉක්මවා ගොස් කාව්‍ය නාටකාදිය මෙන්ම ගංගා පර්වත නිසා සැඳෑ වැනුම් විෂයෙහි ද වස්තු විෂය වීම හේතුවෙන් වාක්ප්‍රයෝග, අර්ථ සීමා ආදිය ද විස්තීර්ණ වීමක් දක්නට ලැබේ. නිදසුනක් ලෙස ගංගා යන්නේ මුල් කෘතිවල අදහස් වූයේ ගංගා නම් ගඟයි.5 (උත්තරඤ්චෙපි ගංගාතීරං ගච්ඡෙය්‍ය....දී.නි. (1-90 පිට) එහෙත් පසුව එය කවර ගඟක් වුව ද හැඳින්විය හැකි පදයක් විය. තස්ස පන දීපස්ස මහාගංගාය දක්ඛිණපස්සෙ ආයමතො තියොජනෙ පුථුලතො එකයොජනප්පමාණෙ මහානාගවනුය්‍යානෙ..6 තවද තෙලං යන්න විනයෙහි දක්වා ඇත්තේ තල තෙල් යන අරුතිනි. (සප්පි නවනීතං තෙලං මධු ඵානිතං..පාචි:පා: 6.4.9) පසුව මෙහි අර්ථය වෙනස් වී ඇත. සාසපතෙලං (අබතෙල්) මධුකතෙලං (මී තෙල්) වසාතෙලං (වුරුණු තෙල්) යනු උදාහරණයි. මෙසේම මුහුද යන අර්ථයට සීමා වූ සමුද්ද යන්න පසුව පරක්කමසමුද්ද යනුවෙන් ද යෙදී ඇත. චක්කවත්ති යන්න අර්ථ සීමාව පෘථුව ලී වරචක්කවත්ති කවිචක්කවත්ති යි යෙදී ඇත. උදය හවස යන දෙකම හැඳින්වීමට මුල් කාලයේ යෙදුණු සන්ධ්‍යා යන වචනය අද හවස යන අර්ථයට පමණක් සීමා වී ඇත.
නාමපද වරනැඟීමේදී රූප විවිධත්වයක් දක්නට ලැබෙනුයේ ද මෙබඳු විවිධ බලපෑම් නිසාය. ඓතිහාසික නයින් විමසා බලන විට සංස්කෘතයේ බලපෑම ද හේතුවක් වේ. මනෝගණික ශබ්ද වරනැඟීමේ දී හමුවන සකාරාන්ත රූප නිශ්චිතව ම සංස්කෘතයෙන් භින්න වූ ඒවාය. මනසා (තෘතීයා ඒක:) මනසො (චතු:ඡට්ඨී ඒක:) මනසි (සත්තමී ඒක:) උදාහරණය. මේවායින් මනස් (සං) ශබ්දයේ බලපෑම පැහැදිලිය. මීට අතිරේකව නාමපද වරනැඟීමේ දී එක විභක්තියක් සඳහා බොහෝ රූප යෙදෙනු දක්නට ලැබේ.
පිතු - පිතුනො - පිතුස්ස (චතු - ඡට්ඨී ඒක-)
රඤ්ඤො - රාජිනො /රඤ්ඤං - රාජිනං - රාජූනං - රාජානං (චතු, ඡට්ඨී, ඒක: බහු:)
තං - තවං - තුවං - ත්වං (දුතියා ඒක:)
රත්තියං - රත්‍යං - රත්තො (සත්තමී ඒක:)
ක්‍රියාපද විෂයෙහි ද මෙම ඒකීයත්වය වෙනස් වන අයුරු දක්නට ලැබේ. ගමු ධාතුව අජ්ජතනී පරස්සපදයෙහි වරනැඟී රූප රාශියක් භාෂාව තුළ භාවිත වේ. එහි ප්‍රථම පුරුෂ ඒකවචන රූප අටකි. අගමි - ගමි - අගච්ඡි - ගච්ඡි - අගඤ්ඡි - ගඤ්ඡි - අගමා - අගමාසි යනුවෙනි. කර, දා වැනි තවත් සමහර ධාතු මෙසේ රූප විවිධත්වයකින් යෙදී ඇත. කෘදන්ත නාමවලදී තිට්ඨං, තිට්ඨන්තො, තිට්ඨමානො යනාදී ලෙසින් රූප තුනකින් පද සිද්ධිය වේ. මෙම ව්‍යාකරණමය රූප ව්‍යාකරණකරුවන් විසින් භාෂාවට බලෙන් එකතු කළ ඒවා නොවේ. ඔවුන්ට එසේ කිරීමට ශක්තියක් නොමැති හෙයිනි. යුග පරිවර්තනික ලක්ෂණ හා ප්‍රදේශීය ව්‍යවහාරයන්හි පැවති ලක්ෂණ ඇතුළු වීම නිසා මෙම අනේකරූපීතාව ඇති වන්නකි. මාතෘ භාෂාවලින් බිඳගත් රූප විමසා බැලුව ද ඒකස්වරූපයක් පවත්වා ගත නොහැකි වන්නේ එහෙයිනි.
ප්‍රවාස
|
> පවාස
|
ප්‍රමදා
|
> පමදා
|
යනාදී වශයෙන් හ්‍රස්ව වෙමින් පාලියට එන මූලික ව්‍යඤ්ජනය ඇතැම් විට දීර්ඝ වේ.
ප්‍රකට පාකට ප්‍රවචන පාවචන ප්‍රමොද්‍ය පාමොජ්ජ
මේ අනුව පැහැදිලි වන්නේ පාලියේ සජාතීය ලක්ෂණ විද්‍යමාන නොවන බව ය. ප්‍රාදේශීය ව්‍යවහාර සංකලනය නිසා විවිධ වෙනස්කම් සිදු වී ඇත. එපමණක් නොව විවිධ හේතු ද මේ සඳහා බලපා ඇත. පද්‍ය රචකයන්ට ද භාෂාව අවශ්‍ය පමණ වෙනස් කර ගැනීමට අවසර ඇත. එහිදී ව්‍යාකරණ රීති යම් පමණකින් උල්ලංඝණය කිරීම වරදක් ලෙස සැලකී නැත. "යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලොකෙ" යන මෙහි වා යන නිපාතය හ්‍රස්ව වී යෙදී ඇත. එසේ ම "මධුවා මඤ්ඤතී බාලො" යන්නෙහි "මඤ්ඤතී" යනුවෙන් දීර්ඝ වී ඇත. මේවායේ හ්‍රස්ව වූයේත් දීර්ඝ වූයේත් ඡන්දොරක්ඛණ හේතුවෙනි. මේ හැරුණු විට රුචි අරුචිකම්, අවධාරණය කිරීම, අනුකරණය කිරීමේ ආශාව වැනි හේතු නිසා ද භාෂාවේ වෙනස්කම් සිදු වේ. එබඳු හේතු කීපයක් මෙසේ දැක්විය හැකි ය.
01. විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණය
02. අන්‍ය භාෂාවක් උච්චාරණය කිරීම
03. යුඛෝච්චාරණය
04. විද්‍යාස්ථාන භේදය
05. ඍතු ගුණයේ වෙනස්කම්
06. වාචිකාවයවයන්ගේ වෙනස්කම්
07. වියතුන්ගේ ඇතැම් විශේෂ උච්චාරණ විධි
08. අනුකරණයට ලොල් වීම
09. කාලානුරූපී වෙනස්කම්
10. ආහාර පානවල වෙනස්කම්
11. දේශීය පරිස්ථිතිය
12. උපඝාතය (ඇතැම් තැන්හි ස්වර බර කොට කීම)
13. වරණාත්මක ධ්වනි විකාරය
14 විභක්ති රචනා ක්‍රියාකාරක පද වෙනස්කම්
15. කාකු භේදය
ව්‍යාකරණ ග්‍රන්ථයන්හි මෙබඳු භාෂාමය විපර්යාස හඳුන්වනුයේ ව්‍යත්තිය යන නමිනි.7 විවිධ හේතු නිසා ඇති වන මෙම ව්‍යත්තිය නන්වැදෑරුම් වේ. බහුලං ඡන්දසි විෂයෙ සර්වෙ විධයො භවන්තීති, සුපාං ව්‍යත්‍යය:, තිධාං ව්‍යත්‍යය:, වර්ණව්‍යත්‍යය:, කාලව්‍යත්‍යය:, පුරුෂව්‍යත්‍යය:, ආත්මනෙපදව්‍යත්‍යය:, පරස්මෛපදව්‍යත්‍යයඉතිපි
පාණිනී ව්‍යාකරණයෙහි බහුලංව්‍යත්‍යය: යන්නට අටුවා සපයන මහාභාෂ්‍යකරු මෙබඳු ව්‍යත්‍යය තවත් බොහෝ විද්‍යමාන වන බව පෙන්වා දී ඇත. ඒ අනුව අක්ෂර - පද - වචන - ලිංග - විභක්ත්‍යාදී භාෂාවේ සෑම අංගයක් පිළිබඳවම විපර්යාස සිදු වේ.
වර්ණ විපර්යාසය
වණ පෙරළි හෙවත් භාෂාව පරිණාමය වීමේදී සිදුවන අක්ෂරයන්ගේ වෙනස්කම් වර්ණ විපර්යාසය නම් වේ. මෙය බොහෝ විට ය, ර, ල, ව යන දුවියාක්ෂර හා ශ, ෂ, ස යන අක්ෂර ආශ්‍රයෙන් සිදු වේ. පාලි භාෂාවේ වර්ණ විපර්යාසය සිදු වී ඇති අයුරු හඳුනා ගැනීමට නිදසුන් කීපයක් මෙසේ දක්වමු.
ආලාරික
|
> ආරාලික
|
ප්‍රාවරණ
|
> පාපුරණ > පාරුපණ
|
හකාර යුක්ත සංයෝගවලදී හෙවත් හ්ණ් - හ්න් - හ්ම් - හ්ය් - හ්ව් යන සංයෝගවලදී පිළිවෙළින් ණ්හ - න්හ - ම්හ - ය්හ - ව්හ බවට හැරේ.
හ්ණ > ණ්හ
|
හ්ම > ම්හ
|
|
|
ඌෂ්මන් අක්ෂරයකින් පරව නාසික්‍යයක් ඇති සංයෝගවලදී පාලියේ රීතියක් වශයෙන් ම වර්ණ විපර්යාසය සිදු වේ. එහිදී බොහෝ විට ඌෂ්මන් අක්ෂරය හකාරයක් වීම ද දක්නට ලැබේ. නිදසුන් මෙසේ ය.
ප්‍රශ්න
|
> පඤ්හ
|
විස්මය
|
> විම්හය
|
රශ්මි >රංසි
|
පද විපර්යාසය
"විභක්ත්‍යන්තං පදං" යි හැඳින් වූ සෙයින් විභක්ත්‍යන්ත වූයේ පද නම් වේ.9 එසේම ආත්මනේපද හා පරස්සපද යනුවෙන් ද ආඛ්‍යාතයේ පද විශේෂයක් දක්නට ලැබේ. මෙම පදයන්හි විපරීත යෝජනය පද විපර්යාසය නම් වේ. "අධමනර" යන්න "නරාධම" වීම විපර්යාසයකි. "දන්තූට" යන්න "කූටදන්ත" වීමත් "ආජානීයපුරුසො" යන්න "පුරිසාජානීයො" වීමත් බලං යථා යන්න "යථාබලං" වීමත් "අභයොථෙරො" යන්න "ථෙරාභයො" වීමත් එබඳු පද විපර්යාසාත්මක ප්‍රයෝග කීපයකි.
මේ හැරුණු විට "බ්‍රහ්මචරියං සුගතෙ චරාමසෙ" (බුදුරදුන් සමීපයෙහි බඹසර වසමු) යන තැන චරාම වෙනුවට "චරාමසෙ" යනුවෙන් යොදා තිබීම පරස්සපදය වෙනුවට ආත්මනෙපදය යෙදීමක් බව ගෛගර් සලකයි.10 එහිදී සිදුව ඇත්තේ වෛදික "අසි" ප්‍රත්‍යය යෙදීමක් බව ද මතයකි. කෙසේ වුවත් "මයමෙත්ථ යමාමසෙ" වැනි තැන්හි පාලියේ පද විපර්යාසයෙන් වාක්‍ය නිර්මාණය වූ බැව් දක්නා ලැබේ. ආඛ්‍යාත හා නාමපද කෙරෙන් පරව "සෙ" කාරයක් ආගම වන බව සද්දනීතියේ සෙකාරාගමො ආඛ්‍යාතනාමෙහි යනුවෙන් දක්වා ඇත.
වචන විපර්යාසය
"වචනං" යන පදයෙන් මෙහිලා අදහස් කරනුයේ ඒකවචන හා බහුවචනයයි. පෙළෙහි ඒකවචනයෙන් තැබිය යුතු වූවක් බහුවචනයෙන් තැබීමත් බහුවචනයෙන් තැබිය යුතු වූවක් ඒකවචනයෙන් තැබීමත් ඇතැම් විට දක්නා ලැබේ. එලෙසින් සිදුවන වෙනස මෙහිලා අදහස් කෙරේ. නිදසුනක් මෙසේ ය.
"යා මෙ අහොසි ජනිකා - ඵුසති නාම ඛත්තියා
සා අතීතාසු ජාතීසු - සක්කස්ස ච මහෙසියා"
ඵුසති දේවිය පෙරභවයක ශක්‍රයාගේ බිසව වී දස වරයක් ලබා සිවි රට සඳ මහරජහුගේ නිවෙස්නෙහි උපන් බව කියැවේ.12 මෙම ආත්මභාවය දක්වා ඇත්තේ "අතීතාසු ජාතීසු" යන බහුවචන රූපයෙනි. "අතීතජාතියං" යනුවෙන් ඒකවචනයෙන් තැබිය යුතු පදය මෙසේ බහුවචනයෙන් තැබීම වචන විපර්යාසයකි. "පාතුරහොසි මගධෙසු පුබ්බෙ - ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො" 13 මෙහි මගධයෙහි යනාර්ථයෙහි සත්තමී විභක්ති බහුවචන රූපය යෙදීම ද එවැන්නකි. ජනපදවාචී ශබ්ද බහුවචනයෙන් තැබිය යුතු බව රීතියක් කොට ව්‍යාකරණ ඇදුරෝ දක්වති.14 මෙලෙස සිදුවන වචන ව්‍යත්තීන් වියරණ කෘතිවල කාරක ප්‍රයෝග නමින් දක්වා ඇත. කාව්‍ය බන්ධනයේදී ලද අවකාශයක් ලෙස හඳුනා ගත හැකි වෙනස් වී යෙදුණු වචන ප්‍රයෝග ගාථා පාලියේ බහුල බව සිතීම සුදුසුය.
වාක්‍ය විපර්යාසය
පාලියේ විවිධ වාක්‍ය ස්වරූප දක්නට ලැබේ. එහි ඒකාකාරී පද යෝජනයක් නැත. ක්‍රියාපද වාක්‍යයක යෙදෙන අයුරු හඳුනා ගැනීම තුළින් වාක්‍ය විපර්යාසය පහසුවෙන් තේරුම් ගත හැකි ය. ඉංග්‍රීසියෙහි වාක්‍යයක එක්තරා න්‍යායක් ඇත. (Subject+Verb+Object) එහෙත් පාලියේ වාක්‍යවල අවසාන ක්‍රියාව ඇතැම් විට වාක්‍ය මුල දක්නට ලැබෙන අතර ඇතැම් විට මැද ද අග ද දක්නට ලැබේ.
"ආමන්තයාමි වො භික්ඛවෙ, වයධම්මා සංඛාරා"15
"උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති"16
"භූතපුබ්බං භික්ඛවෙ දෙවාසුරසංගාමො සමූපබ්බූළ්හො අහොසි"17
පාලි භාෂාවේ වාක්‍ය රටාවල විචිත්‍රතාවක් පවතී. එහි සජීවි භාෂාවක නැතහොත් ව්‍යවහාරයෙහි පැවති භාෂාවක ලක්ෂණ සුරැකී ඇත. නිදසුනක් ලෙස හුදෙක් අක්ෂර ලෝපය සිදුවන්නේ ලේඛනය සඳහා පවතින අපහසුතාව නිසා නොව සුඛෝච්චාරණය සඳහා ය. එම හේතුවෙන් අක්ෂර ලෝපය වී සෑදුණු වචන පාලියේ දුලබ නැත. නිදසුන් කීපයක් මෙසේ ය.
අජ්ජ පුණ්හ
|
> අජ්ජුණ්හ
|
මේවාට අමතරව සජීවී ලක්ෂණ දක්වන ව්‍යවහාර ද වේ. "කච්චි තෙ කස්සප කමනීයං?" (කාශ්‍යප ඔබට ඉවසිය හැකි ද?) "අභිදොසකාලකතො භන්තො උද්දකො රාමපුත්තො" (ස්වමීනි, උද්දකරාමපුත්‍ර ඊයේ රෑ කලුරිය කළේය) "රූපං නිච්චං වා අනිච්චං වා? අනිච්චං භන්තෙ" (රූපය නිත්‍ය ද අනිත්‍ය ද? ස්වාමීනි) මෙම වාක්‍ය රටාවල එකිනෙක වෙනස් බවක් විද්‍යමාන වේ. කථා ස්වරූපයේ ලක්ෂණ මෙහි දක්නට ලැබේ. ආමන්ත්‍රණවාදී ශබ්ද එහි යෙදී ඇති තැන් වෙනස් ය. නිපාත, කෘදන්ත, අවසාන ක්‍රියා, තද්ධිත ආදී සියලු පද වාක්‍යවල ඒකාධිකාරීත්වයකින් තොරව යෙදේ.
ලිංග විපර්යාසය
ලිංග භේදයේ පවත්නා අවිනිශ්චිතභාවය පාලියෙහි ද විද්‍යමාන වේ. එකිනෙක වස්තූන් දෙස බලා ස්ත්‍රී පුරුෂාදී වශයෙන් ඒ ඒ වස්තූන්ගේ ලිංග නිර්ණය කළ නොහැකි ය. වරනැඟීමේ ලක්ෂණ දෙස බලා ලිංගය නිර්ණය කළ බවක් පෙනේ. පාලියේ ස්ත්‍රී ලිංගය පිළිබඳ කරමක නිශ්චිතතාවක් පවතී. එනිසාම වරනැඟීම තුළ සෙසු ලිංග දෙකට වඩා වෙනසක් දිස් වේ. එහෙත් පුල්ලිංග සහ නපුංසකලිංගයේ ශබ්ද වරනැඟීමේ දී ප්‍රථමා දුතියා හැර සෙසු විභක්ති රූපයන්හි වඩාත් සාම්‍යත්වයක් විද්‍යමාන ය. මේ නිසා පුල්ලිංගය හා නපුංසකලිංගය අතර තිබිය යුතු වෙනස එතරම් බලවත් කොට නොසැලකුණා සේ සිතිය හැකි ය.
රතන සූත්‍රයෙහි එක් ගාථාවක "යානි භූතානි" යි "භූත" ශබ්දය නපුංසකලිංගයෙන් යෙදී ඇති අතර එහිම තවත් ගාථාවෙක "සබ්බෙව භූතා" යනුවෙන් පුල්ලිංගයෙන් යෙදි ඇත. එබැවින් මෙහි පුල්ලිංග නපුංසකලිංග භේදය එතරම් සැලකිල්ලට ගෙන නැත. තව ද පාලියේ දේවදූත ශබ්දය පුල්ලිංගය. එහෙත් තීණිමානි භික්ඛවෙ දෙවදූතානි, කතමානි තීණි යනුවෙන් නපුංසකලිංගයෙන් ද යොදා ඇත. මෙබඳු තැන් අර්ධ මාගධියෙහි පවා දක්නා ලැබෙන බව ගයිගර් කියයි.18 මෙසේ ලිංගවිපල්ලාසය වූ තැන් කීපයක් මෙසේ ය.
"පෙතානි හොති පුත්තානි" 19 (දුතියා බහු:)
"පුත්තෙ සන්තානකෙ බ්‍රෑසි"20 ( දුතියා බහු:)
"වන" ශබ්දය නපුංසකලිංගික වුවත් "සබ්බෙ කට්ඨමයා වනා" යනුවෙන් පුල්ලිංගයෙහි ද යෙදී ඇත. එසේම "මිත්තෙ භජස්සු කල්‍යාණෙ"21 "දදං මිත්තානි ගන්ථති"22 යන තැන්වල මිත්තෙ, මිත්තානි යන රූප දෙකම යෙදී ඇත. "පබ්බත" ශබ්දය ද එමෙනි. "අථ පාපජනං කොධො පබ්බතො වාභිමද්දති"23 යන තැන්හි පුල්ලිංගයෙහි යෙදී ඇති අයුරු දක්නට ලැබේ. එහෙත් "බහුං චෙ සරණං යන්ති - පබ්බතානි වනානි ච" යන්නෙහි පබ්බතානි යන නපුංසක ලිංග රූපය ද විද්‍යමානය. "පුත්ත" ශබ්දය පුල්ලිංග වුවත් "ඉච්ඡෙය්‍යාමහං භගවා අඤ්ඤානිපි එවරූපානි සත්තපුත්තානි" යි නපුංසක ලිඟුවෙන් යෙදී ඇත. මාතුගාම සහ දාර ශබ්දය ස්ත්‍රී වාචක වුව ද වරනැඟෙනුයේ පුල්ලිංගික මෙනි. "දෙවතා" ශබ්දය ස්ත්‍රීලිංගයෙහි වරනැඟෙන නමුදු පුරුෂ වාචක ද වේ. "දෙවො එව දෙවතා" යි අටුවාව කියයි. මෙසේ පාලියේ ලිංග භේදයේ අවිශේෂ යොගය හඳුනාගත යුතුය.
පුරුෂ විපර්යාසය
ක්‍රියා පදවලට අදාළ ප්‍රථම - මධ්‍යම සහ උත්තම පුරුෂ නිසි විධිනි යෙදීම නොසලකා හැර තිබීම මෙයින් අදහස් කෙරේ. මෙය විශේෂයෙන් දක්නට ලැබෙන්නේ වාසගම් පාලියෙහි නොව පද්‍යයෙහිය. පැණි පාලියෙහි ද එබඳු යෙදුම් දක්නට ලැබේ. "න දිට්ඨයා න සුතියා න ඤාණෙන සීලබ්බතෙනාපි නචාහ සුද්ධිං"25 මෙහි තේරුම දෘෂ්ටියෙන් ද ශ්‍රැතියෙන් ද ඥානයෙන් ද ශුද්ධිය වේ යැයි මම නො කියමි. යන්නයි. නොකියමි යන්න උත්තම පුරුෂ අර්ථය සඳහා මෙහි යොදා ඇත්තේ ප්‍රථම පුරුෂාර්ථවාචක "ආහ" යන්නයි. මෙය පුරුෂ විපර්යාසයකි. "අතාපිනො සංවේගිනො භවාථ" යන්නට ගයිගර් අරුත් දී ඇත්තේ "වීර්ය ඇත්තාහුත් සංවේග ඇත්තාහුත් වෙමු" යනුවෙනි.26
විභක්ති විපර්යාසය
ව්‍යාකරණයෙහි සම්මත විභක්ති වෙනස් කොට යෙදීම විභක්ති විපර්යාසයයි. පාලි සම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල මෙය කාරක කාණ්ඩය යටතේ දක්වා ඇත. විභක්ති ව්‍යත්තියෙන් යෙදුණු එබඳු තැන් විශේෂ ප්‍රයෝග ලෙස සලකා ඇත. සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයන්හි එබඳු තැන් යෙදී ඇති අතර ඒවා මහාකවි ප්‍රයෝග නම උසුලයි. පාලියේ මෙම වෙනස්කම් බහුලව දැකිය හැකි වේ. මේ එවැනි තැන් කීපයකි.
"සෙවනචිත්තං උපට්ඨිතෙ" (සත්තම්‍යත්ථෙ පඨමා)
"සුතමයෙ ඤාණං" (සුතමයං ඤාණං) (පඨමත්ථෙ සත්තමී)
"සබ්බෙ තසන්ති දණ්ඩස්ස" (පඤ්චම්‍යත්ථෙ චතුත්ථී)
"තෙන ඛො පන සමයෙන" (සත්තම්‍යත්ථෙ තතියා)
"එකං සමයං" (සත්තම්‍යත්ථෙ දුතියා)
යථෝක්ත නිදර්ශන පාඨයන්ගෙන් එක විභක්ත්‍යර්ථයක් හැඟවීම සඳහා වෙනත් විභක්ති රූපයක් යොදා ගෙන ඇති අයුරු පැහැදිලි වේ. මේ නිසා පාලි ව්‍යාකරණ ග්‍රන්ථවල "නමො යොදිස්වපි"27 ආදී වශයෙන් වෙනම වියරණ රීති සැපයීමට උත්සුක වී ඇත. නමස්කාර යෝගයේ දී ලිංගය කෙරෙන් චතුත්ථී විබක්තිය වන බව "නමො තෙ බුද්ධවීරත්ථු" යනුවෙන් දක්වා ඇත. එහෙත් එය එසේම සිදු වී නැති බව "නමාමි බුද්ධං ගුණසාගරන්තං" යි දුතියාව යෙදීමෙන් පැහැදිලි වේ.
පාලියේ විභක්ති විපර්යාසය ගැන සැලකීමේ දී එහි දක්නට ලැබෙන සරල බව පිළිබඳව ද තේරුම් ගත යුතුය. සංස්කෘතයේ මෙන් නොව පාලියේ ඇතැම් විභක්ති සාම්‍යත්වයකින් ද සලකා තිබේ. නිදසුනක් ලෙස පාලියේ චතුත්ථී, ඡට්ඨී රූප සමානය. එසේම බොහෝ දුරට තතියා, කරණ හා පංචමී විභක්ති සමානය. නාම වරනැඟීමේ ලක්ෂණ සසඳා බැලීමෙන් සංස්කෘත හා පාලියේ මෙම විභක්තිවල රූප සාදෘශ්‍ය හා අසාදෘශ්‍ය තේරුම් ගත හැකිය.
කාලවිපර්යාසය
භාෂාවක් බහුල ව්‍යවහාරයට පැමිණීමත් සමඟ එහි ව්‍යාකරණ රීති ව්‍යතික්‍රමණය වීම නිරායාශයෙන් සිදුවන්නකි. වාක්‍යයක නිරවුල් බව පිණිස අතීත වර්තමාන ආදී වශයෙන් කාලය නිශ්චිත වන පරිදි උසුරුවීම වැදගත්ය. එහෙත් භාෂාවේ වර්ධනීය අවස්ථාවන්හිදී එම සීමාවන් නො සලකා හැරේ. සංස්කෘත ගධ්‍ය කාව්‍යයන්හි අතීත කථාවක් බොහෝ විට වාර්තා කරනුයේ වර්තමාන ක්‍රියා භාවිත කිරීමෙනි. එසේමඑහි අතීතය හැඟවීම සඳහා වර්තමාන ක්‍රියාපදය අගට ස්ම ප්‍රත්‍යය යොදා ගැනීම ද දක්නට ලැබේ. උදා - ගච්ඡතිස්ම, විවදතිස්ම. මෙබඳු ලක්ෂණ පාලියේ ද සුරැකී ඇත. "අනෙකජාතිසංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං" යන මෙහි "සන්ධාවිස්සං" යන්නේ තේරුම ඇවිද්දෙමි යන්නයි. එහෙත් ධාතුවෙන් පරව ස්ස ප්‍රත්‍යය යෙදෙනුයේ අනාගතය හැඟවීම සඳහාය. මේ නිසා එය කාල විපර්යාසය හඟවන්නකි. එහෙත් මේ පිළිබඳ විවිධ මත පවතින බව ද සඳහන් කළ යුතුය.28 තව ද මජ්ඣිම නිකායේ රට්ඨපාල සූත්‍රයෙහි පිළුණු පිට්ටු වළඳනු දුටු රට්ඨපාල හිමියන්ගේ පියා පවසන්නේ "අත්ථි නාම තාත, ආභිදොසිකං කුම්මාසං පරභුඤ්ජිස්සසි"29 යනුවෙනි. මෙහිදී යෙදී ඇත්තේ "පරිභුඤ්ජිස්සසි" යන අනාගත රූපයයි. මේ හැරුණු විට අතීතාර්ථය හැඟවිම පිණිස අනාගත රූපය යෙදූ තැනක් හයවන සංඝාදිසේස විස්තරයෙහි දක්නා ලැබේ. "කථං හි නාම තුම්හෙ මොඝපුරිසා සඤ්ඤාචිකායො කුටියො කාරාපෙස්සථ"30 මෙහි කළේ ද යන අර්ථයෙහි අනාගත රූපය යොදා ඇත.
පාලි භාෂාවේ පරිණාමය සිදුවීමේ දී මෙසේ අනේකවිධ වූ භාෂාත්මක වෙනස්කම් සිදු වී තිබේ. විවිධ අයගේ උච්චාරණ විෂමතා ද පවතින්නට ඇත. ඒවා පහසුවෙන් හඳුනා ගැනීම දුෂ්කරය. හුදෙක් වර්ණයන්ගේ ලෝපය සිදුවන්නේ බහුල ව්‍යවහාරය, නිසි උච්චාරණයේ අපහසුතාව හෝ නූගතුන්ගේ ප්‍රයෝග නිසා විය හැකිය. පාලි භාෂාවේ ආදි මධ්‍ය අන්ත යන ස්ථානත්‍රයෙහිම ලෝපය සිදු වී ඇත. නිදසුනක් ලෙස "අපි" පූර්ව "ධා" ධාතුවෙන් සිද්ධ "පිදහති" යන වචනයත් "අව" පූර්ව "ලඤ්ජ" ධාතුවෙන් සිද්ධ "වලඤ්ජෙති" යන වචනයත් ආදි ස්වරය වූ අ කාරය ලොප් වීමෙන් සෑදී ඇත. උපොෂථ > පොසථ - අග්නි> ගිනි - අවතංස > වටංස - උදක > දක - ඉදානි > දානි යනාදී පද ආදි ස්වරයක් ලොප් වීමෙන් සෑදී ඇත. ආදි ව්‍යඤ්ජනය ලොප් වීමෙන් සෑදුණු තවත් එබඳු වචන කීපයක් මෙසේ ය.
වොස්සග්ග
|
> ඔස්සග්ග
|
තතිය අඩ්ඪ
|
> තියඩ්ඪ
|
පද මධ්‍යයෙහි ද මෙලෙසින් ස්වර හා ව්‍යඤ්ජන ලොප් වී තිබේ. අර්ධ මාත්‍රාවේ සිට වැඩි ගණනක මාත්‍රා හානිය එහිලා සිදු වී ඇත. නිදසුන් කීපයක් මෙසේ ය.
සති උපට්ඨාන
|
> සතිපට්ඨාන
|
පවිසිස්සාමි
|
> පවිස්සාමි
|
වර්ණ හානිය මෙන්ම වර්ණාගමය ද භාෂාවක අනිවාර්ය ලක්ෂණයකි. ඉන්දු ආර්ය ශබ්ද මධ්‍ය ඉන්දු ආර්ය යුගයට ඒමේ දී සිදු ව ඇති වර්ණ ආගමය නන් අයුරින් සිදු වී ඇති බවට නිදසුන් කීපයක් මෙසේ ය.
ස්මරති > සුමරති - ස්ත්‍රී > ථී > ඉත්ථී - ස්වෙ > සුවෙ - ශ්ලිෂ්ට > සිලිට්ඨ
ක්ලාන්ත> කිලන්ත - ශ්‍රී > සිරි - හ්‍රී > හිරි - අර්හ> අරහ - ආත්ම > ආතුම
ප්‍රාප්ණොමි > පාපුණොමි - සම්පත් > සම්පදා, සම්පත්ති - සරත් > සරදා
මෙබඳු වෙනස්කම් අධ්‍යයනය තුළින් තුලනාත්මකව භාෂාව හැදෑරිය හැකි ය. පාලි භාෂාව සම්බන්ධයෙන් මූලභාෂා සංකල්පය හෙවත් ලොව මුල්ම භාෂාව පාලිය බව අවධාරනය කිරීමට වෑයම් කළ තාක් ලොව වෙනත් භාෂාවක් සමග එය තුලනය කිරීමේ අවශ්‍යතාවකුදු නොවීය. මෙම මූලභාෂා සංකල්පය බුද්ධඝෝෂ හිමියන් විසින් "සා මාගධී මූලභාසා ...." යනාදී නයින් දක්වන ලද්දේ නමුත් මෙසේ භාෂාමය විපර්යාසයන් පිළිබඳ අවබෝධයක් උන්වහන්සේට තිබූ බව පඤ්චවිධ නිරුක්තියක් සිය අටුවාවන්හි දක්වා තිබීමෙන් පැහැදිලි ය.
"වණ්ණාගමො වණ්ණවිපරීයසො ච
ද්වෙ චාපරෙ වණ්ණනාකාරනාසා
ධාතූනමත්ථාතිසයෙන යොගො
තදුච්‍යතෙ පඤ්චවිධං නිරුත්තිං" යි යාස්කගේ පඤ්ච නිරුත්තිය අනුය යමින් දක්වා තිබේ.31 ත්‍රිපිටක කෘතිවල භාෂාවේ දක්නට ලැබෙන මෙබඳු ලක්ෂණවල වර්ධනය යම් ප්‍රමාණයකට සීමා කිරීමට සාම්ප්‍රදායික පාලි වෛය්‍යාකරණඥයන්ගේ බලපෑම ඉවහල් විය. එහෙත් එය එතරම් සාර්ථක ප්‍රයත්නයක් නොවන බව "පරසමඤ්ඤාපයොගෙ"32 යනාදී නයින් සංස්කෘත රීති දෙස බැලීමට උපදෙස් දීමෙන් පැහැදිලි වේ. එතෙකුදු වුවත් අට්ඨකථාචාර්යවරුන් පවා සිය ධර්මමය විවරණවලදී හැකිතාක් ආගමික නිරුක්තිකථන සැපයීමට උත්සුක ව බව පැහැදිලි කරුණකි. "ආ රමන්ති එත්ථ පාණිනො විසෙසෙන පබ්බජිතානි ආරාමො33 "බාහිතපාපොති බ්‍රාහ්මණො"34 "භවෙසු වන්තගමනතො වත්තබ්බෙ භවසද්දතො භගවාති වුච්චති"35 මෙබඳු නිරුක්තිකථනවලින් පෙනෙනුයේ භාෂාවේ යම් යම් සීමාවන් පැවති බවයි. එහෙත් භාෂාවේ ක්‍රමික විකාශනයත් සමඟ මෙම සීමාවන්ගේ පෘථුලත්වය නිරායාශයෙන් සිදු වී ඇත.
පශ්චාත්තන කෘතීන්හි භාෂා ලක්ෂණ විමසීමේ දී පාලි භාෂාවේ වචන, වියරණ රීති හා භාෂා ප්‍රයෝග ආදියෙහි සිදු වී ඇති නව ප්‍රවණතා හඳුනාගත හැකිය. මූලභාෂාමය සංකල්පය මත පිහිටා පාලියේ ආගමික මුහුණුවර ආරක්සා කිරීමට යාමෙන් සිදු වූ එක් අලාභයක් නම් එයට එකතු වීමට තිබූ අලුත් වචනාදිය එකරාශී නොවීමයි. භාෂාවේ යුග පෙරලිය නිසා ඉතා හෙමින් එකතු වූ නවරූප පසුකාලීනව ලියැවුණු කෘතීන්හි ඇතැම් විට දක්නට ලැබේ. අභිනවසාසනවසය නම් කෘතියේ යෙදී ඇති වචන කීපයක් මෙසේ ය. බොධිගච්ඡකපිටඨ (බෝගහපිටිය) වස්සඛග්ග (වස්කඩුව) වණ්ණුතිත්ථ (වැලිතර) භල්ලාතකීපුර (බදුල්ල) පඤ්චස්සර (පස්සර) ආදික්‍රිය (ඇකිරිය) බෙත්තලක්ඛ (වෙල්ලස්ස) නුපානමධිපො (රජතුමා) මෙම වචන පාලියට බිඳ ගැනීමේ ඌනතා විද්‍යමාන වුව ද භාෂා විකාශනයේ ස්වරූපය හඳුනා ගැනීමේ දී වැදගත්ය. ක්‍රියාරූප යෙදීමේ දී ද භාෂා විකාශනයේ රූපයට සමාන නිනාය, සුසොච, බභූව, ජගාම, රරාජ වැනි පද ලංකාවේ ලියවුණු පාලි කාව්‍යයන්හි යෙදී ඇත. ත්‍රිපිටක කෘතිවල ලිට් රූපයට සමාන ලෙස දැකිය හැක්කේ ආහ, ආහු, විදු, විදුං වැනි වචන කීපයක් පමණකි. සංස්කෘත කාව්‍යයන්හි යොදා ඇති සුලලිත රූපයක් වීම නිසා මෙය අඩු වශයෙන් හෝ පාලියෙන් ද යොදා ගන්නට ඇත. මෙසේ පාලි භාෂාවේ විවිධ භාෂාත්මක විපර්යාස සිදු වී ඇත. මේවා පාලියේ යුග සංක්‍රමණික විපරිණාමතා සමඟ සිදු වී ඇති භාෂා ලක්ෂණ වේ.
පාදක සටහන්
01. පාලි භාෂාව හා වාග් විද්‍යාව - ගලගෙදර ප්‍රඥානන්ද හිමි - 1965 - 23 සිට 30 දක්වා පිටු බලන්න.
02. සුළුවග - සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ප්‍රකාශනය - 1952 -734 පිටුව
03. මජ්ඣිමනිකාය, අරණවිභංග සූත්‍රය
04. Asokam Inscription - Fourteen Rock Edicts - Page 1-2
05. දීඝනිකාය ප්‍රථම භාගය - බු.ජ.මු - 90 පිට
06. ධාතුවංසො - සංස්: කඹුරුපිටියේ නන්දරතන හිමි - 1984 - 2 පිට
07. පාණිනී ව්‍යාකරණය - 3.1.85 සූත්‍රය බලන්න.
08. මහාභාෂ්‍යය - බොම්බාය. 1950. 5 පිටුව බලන්න.
09. සාරස්වත - කහවේ ශ්‍රී රතනසාර සංස්කරණය - 81 පිට
10. Pali Literature & Language - w'Geiger, New Delhi - 1978 - 160 page
11. සිංහල චරියාපිටක වර්ණනා - සංස්: විලෝගොඩ ධම්මානන්ද හිමි - 66 පිට
12. බුත්සරණ - සංස්: මාදොවිට ඥානානන්ද හිමි, 1929 - 282 පිට
13. මහාවග්ගපාලි - බු.ජ.මු.12 පිට
14. අභිධානප්පදීපිකාව - භූමිවග්ග - ජනපදවිශේෂ බලන්න.
15. දීඝනිකාය - මහාපරිනිබ්බාණසුත්ත - බු.ජ.මු. 188 පිට
16. මජ්ඣිමනිකාය - බු.ජ.මු. 478 පිට
17. සංයුත්තනිකාය - බු.ජ.මු. 390 පිට
18. පාලි ව්‍යාකරණය: විල්හෙල්ම් ගයගර් - 1989 - 82 පිට
19. ථෙරගාථා - බු.ජ.මු. සුන්දරී ථේරගාථා බලන්න.
20. සංයුත්තනිකාය, බු.ජ.මු. 1.2.9 සුත්‍රය බලන්න.
21. ධම්මපදය 26: 16
22. සංයුත්තනිකාය - බු.ජ.මු.10:1:12 සූත්‍රය බලන්න.
23. සංයුත්තනිකාය - බු.ජ.මු. 11:3:5 සූත්‍රය බලන්න.
24. උදානපාලි - ගලගෙදර සෝමාලෝකතිස්ස නාහිමි සංස්කරණය - 1968 - 23 පිට
25. සුත්තනිපාත - බු.ජ.මු. 266 පිට
26. පාලි ව්‍යාකරණය - විල්හෙල්ම් ගයිගර් - 1989 -143 පිට
27. මහාරූපසිද්ධිය - කලුකොඳයාවේ පඤ්ඤාසේඛර නාහිමි සංස්කරණය - 296 සූත්‍රය බලන්න.
28. පාලි අට්ඨකථාවන්හි පිළිබිමුවන ව්‍යාකරණ සම්ප්‍රදාය - වෑගම පියරතන හිමි - 1990, 127-135 දක්වා පිටු බලන්න.
29. මජ්ඣිමනිකාය - මජ්ඣිමපණ්ණාසකය - බු.ජ.මු. 430 පිට
30 පාරාජිකාපාලි - බෙන්තොට සද්ධාතිස්ස හිමි සංස්කරණය - 1924 - 176 පිට
31. නිද්දෙස අට්ඨකථා - හේවාවිතාරණ මුද්‍රණය - 186 පිට
32. කච්චායනය - 9 සූත්‍රය බලන්න.
33. පපංචසූදනී - හේවාවිතාරණ මුද්‍රණය - 56 පිට
34. ධම්මපදය - බ්‍රාහ්මණවග්ග, 6
35. සමන්තපාසාදිකාව - හේවාවිතාරණ මුද්‍රණය - 76 පිට
වෙනත් වෙබ් අඩවියක පළ කිරීමෙන් වළකින්න.
03. ප්‍රාකෘත භාෂාවන්හි පූර්වක්‍රියාපද සාධනය පිළිබඳ විමසුමක්
කථිකාචාර්ය ගෞරවාර්හ පුස්සැල්ලෑවේ ඤාණරතන හිමි.
(විද්‍යොදය ධර්මශාස්ත්‍රීය සංග්‍රහය -2010)
ව්‍යවහාරයේ පවත්නා සෑම භාෂාවක් තුළම විවිධ ක්‍රියා ප්‍රභේද දක්නට ලැබේ. පූර්වක්‍රියා ද ඒ අතර එක් ප්‍රභේදයකි. පූර්වක්‍රියා යනු ප්‍රධාන කතුවරයා විසින් කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාවට පෙර කරන ලද ක්‍රියාව බව "සමානකර්තෘකායො: පූර්වකාලෙ"1 යන පාණිනී ව්‍යාකරණයේ එන සූත්‍ර පාඨයෙන් පැහැදිලි වේ. පුරාණ ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් වෛදික සංස්කෘතයෙහි ත්වා, ත්වාන, අම් යනුවෙන් පූර්වක්‍රියා නිර්මාණයේදී ප්‍රත්‍ය තුනක් යෙදී ඇත. සංස්කෘත භාෂාවෙහි පූර්වක්‍රියා ප්‍රත්‍යය වශයෙන් "ක්ත්වා" යන්න භාවිත වී තිබේ. (කෘ+ත්වා > කෘත්වා) ඒ බව පූර්වකාලෙ කෘත්වා යන සාරස්වත සූත්‍ර පාඨයෙන් අනාවරණය වේ. ඊට අමතරව සොපසර්ග ධාතූන් කෙරෙන් පරව "ය" ප්‍රත්‍යය යෙදීමේ පූර්වක්‍රියාපද සාදාගෙන ඇත. (ආ+ගම්+ය > ආගම්‍ය) ශුද්ධමාගධී හෙවත් පාලි භාෂාවේ පූර්වක්‍රියාපද සාධනයේදී ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය තුනක් භාවිත වී තිබේ. "පුබ්බකාලෙකකත්තුකානං තූන ත්වාන ත්වා වා"3 යන්නෙන් ද ඒ බව අවධාරණය කර තිබේ. ඒ අනුව පාලියේ තූන, ත්වාන, ත්වා යන ප්‍රත්‍යය පූර්ව ක්‍රියා සඳහා යෙදී ඇත.
තූන > වන්දිතූන, ත්වාන > කරිත්වාන, ත්වා > පචිත්වා
මේවා අතුරෙන් "ත්වාන" ප්‍රත්‍යය වැඩි වශයෙන් යෙදී ඇත්තේ ගාථා භාෂාවේ ය. ගාථාවලදී ඡන්දස් රැකීම සඳහා "ත්වාන" ප්‍රත්‍යයෙහි "ව" යන්නට සම්ප්‍රසාරණ ක්‍රමයෙන් "උ" යන්න වී පසුව දීර්ඝවීමෙන් "තූන" ප්‍රත්‍යය යෙදේ.4 ඉහතින් දැක්වූ ප්‍රත්‍යයන්ට අමතරව ය, ත්‍ය, යාන, යන ප්‍රත්‍යයන්ද පාලි භාෂාවේ පූර්වක්‍රියා සාධනයේදී උපයුක්ත වූ අයුරු දැකිය හැකිය.
ය > ආදාය, ත්‍ය > උපෙත්‍ය / උපෙච්ච, යාන > උත්තිරියාන
උක්ත ප්‍රත්‍යයන් ධාතුව හා සංයෝග වීමේදී ධාතුගත ස්වරය ඇතැම් තැනකදී වෘද්ධි වී ඇත.
නී+ත්වා > නෙත්වා, ජි +ත්වා > ජෙත්වා එසේම ධාතුගත ස්වරය හ්‍රස්ව වන අවස්ථා ද දක්නට ලැබෙයි.
දා+ත්වා දත්වා, හු+ත්වා හුත්වා
යන උදාහරණ ඒ බව අවධාරණය කරයි. ඇතැම් ප්‍රත්‍යයන් පරකල්හි ධාත්වන්ත ව්‍යඤ්ජන ලොප් වී ඇති බව පද+ත්වා පත්වා, කර+ත්වා > කත්වා, හන+ත්වා > හත්වා යන පූර්වක්‍රියා පද තුළින් පැහැදිලි වේ. ඇතැම් විට ධාතුව හා පූර්වක්‍රියා ප්‍රත්‍යය අතරට ඉකාරයක් ආගම වී ඇත.
පච+ඉ+ත්වා > පචිත්වා, ඛාද+ඉ+ත්වා > ඛාදිත්වා
තවද "ත්වා" ප්‍රත්‍යය ඍජුව ම ධාතුව හා එක් වූ අවස්ථා ද දක්නට ලැබේ.
නී+ත්වා > නීත්වා, යාද+ත්වා > යාත්වා
උපෙත්‍ය > උපෙච්ච, සංස්කෘත්‍ය > සක්කච්ච යන පූර්වක්‍රියා පදයන්හි "ත්‍ය" යන අසදෘශ සංයෝග "ච්ච" යනුවෙන් සමීකරණය වී ඇත. ධාතුවේ ව්‍යඤ්ජනාක්ෂරයක් වූ විට ය ප්‍රත්‍යය හා විපර්යාස වී ඇත.
ආරුහ්ය > ආරුය්හ, සහ්ය > සය්හ
එසේම ඔවරියාන,5 ඔලුබ්භ,6 ආහරිය, නිකුජ්ජිය,7 ආදිස්ස,8 යන පූර්වක්‍රියාපද සංස්කෘත භාෂාවේ බලපෑමෙන් පාලියෙහි ද භාවිත වූ ඒවා වශයෙන් සැලකිය හැකිය. ශබ්ද විද්‍යාත්මක රීතීන්ට අනුව පැරැණි ඉන්දු ආර්ය යුගයේ භාවිත "ද්‍ය" යන සංයෝගය පාලියේ "ජ්ජ" බවටත්, "භ්‍ය" යන සංයෝගය "බ්භ" බවටත් සමීකරණය වී ඇත. පූර්වක්‍රියා විෂයෙහි ද එම ලක්ෂණය විද්‍යමානය. නිෂද්‍ය නිසජ්ජ, උපලභ්‍ය උපලබ්භ පාලි සංස්කෘත භාෂාවන්හි පූර්වක්‍රියාපද නිර්මාණයේදී ධාතුවකට මුලින් උපසර්ගයක් ඇති විට ය ප්‍රත්‍යය යෙදීම රීතිය වුවත් බන්ධිය,9 ඡඩ්ඪි,10 දක්ඛිය,11 ජානි,12 කරිය13 යන පූර්වක්‍රියාපදයන්හි ධාතුවට මුලින් උපසර්ගයක් නොමැතිව ද, "ය" ප්‍රත්‍යය යෙදී ඇති බව පැහැදිලි වේ. මේ අයුරින් විවිධ ක්‍රම ඔස්සේ පාලි භාෂාවේ පූර්වක්‍රියාපද නිර්මාණය වී ඇති බව පැහැදිලි වේ. මෙහිදී මුඛ්‍ය අදහස වන්නේ ප්‍රාකෘත භාෂාවන්හි පූර්වක්‍රියාපද නිර්මාණය වී ඇති ආකාරය විමසීමයි. මධ්‍ය ඉන්දු ආර්ය යුගයේ භාරතයේ භාවිතයේ පැවති මහාරාෂ්ට්‍රී, පෛශාචී, ශෞරසේනී, මාගධී, අර්ධමාගධී, අශෝක යන ප්‍රාකෘතයන්හි පූර්වක්‍රියා සාධනය පිළිබඳ ඒ අනුව විමසනු ලැබේ. ප්‍රාකෘතයන්හි පූර්වක්‍රියා නිර්මාණය සංස්කෘත හා පාලි භාෂාවන්ට වඩා අතිශයින් සංකීර්ණ වූවකි. එයට හේතු වූයේ ශිථිල උච්චාරණය නිසා අති වූ රූප බාහුල්‍ය හා රූපයන්හි ඇති විවිධත්වයයි. මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙහි පූර්වක්‍රියාපද නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් "ඌණ" ප්‍රත්‍යය ධාතුව හා එකතු වීමෙනි. "ක්ත්වා ප්‍රත්‍යයස්‍ය ඌණ ඉත්‍යයමාදෙශො භවති"14
ඌණ ප්‍රත්‍යය - ගෘහීත්වා ඝෙඌණ, ශ්‍රැත්වා සොඌණ, කෘත්වා කාඌණ, ආනීය ආණිඌණ
ඌණ ප්‍රත්‍යයට අමතරව විකල්පයෙන් උං, ඉඅ යන ප්‍රත්‍යය ද යෙදී ඇත.
උං ප්‍රත්‍යය - දෘෂ්ට්වා > දට්ඨුං, මුක්ත්වා > මොත්තුං, භූත්වා > හොඋං
ඉඅ ප්‍රත්‍යය - ඥත්වා > ජාණිඅ, පතිත්වා > පඩිඅ, අපසෘත්‍ය > ඔසරිඅ, පරිහෘත්‍ය > පරිහරිඅ
හේමචන්ද්‍ර ආචාර්යවරයා ප්‍රකාශ කරන්නේ "ඌණ" ප්‍රත්‍යය පමණක් නොව අ, උං, උ, ආණ යන ප්‍රත්‍යයන් ද මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ පූර්වක්‍රියාපද නිර්මාණයේදී යෙදෙන බවයි.15
අ ප්‍රත්‍යය - භ්‍රමිත්වා > භමිඅ, රන්ත්වා > රමිඅ
උං ප්‍රත්‍යය - ශ්‍රැත්වා සොත්තුං
උආණ ප්‍රත්‍යය - ශ්‍රැත්වා සොඋආණ/සොත්තුආණ
ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේ දී මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ පූර්වක්‍රියා ප්‍රත්‍යය වශයෙන් ඌණ, උං, ඉඅ, අ, උආණ යන ප්‍රත්‍යයන් යෙදී ඇති බව පැහැදිලි වේ. ඒවා ධාතුව හා එක් වීමේදී ධාතුවට හෝ ධාතුගත ස්වරයට හෝ විශේෂ ආදේශ සිදු වී ඇත. එහිදී ඇතැම් ධාතුවලට පූර්වක්‍රියා ප්‍රත්‍යය එක් වීමේදී ධාත්වන්ත ආකාරයට ඉකාරය, එකාරය ආදේශ වී ඇත.16
ශ්‍රැත්වා
|
> සුණිඌණ, සොඌණ,
|
හසිත්වා
|
> හසෙඋං, හසිඋං, හසෙඌණ, හසිඌණ
|
එසේම "ග්‍රහ්" ධාතුවට "ක්ත්වා" ප්‍රත්‍ය එක්වීමේදී "ඝෙත්" (ග්‍රහ් ඝෙත්) යන ආදේශ සිදු වී ගෘහීත්වා යන්න ඝොත්තූණ යනුවෙන් ව්‍යවහාරයට පැමිණ තිබේ.17 එහෙත් ඇතැම් තැනකදී එම ආදේශය සිදු වී නැත. ඒ බව "ගෙණ්හිඅ" යන උදාහරණයෙන් පැහැදිලි වේ.18 "කෘ" ධාතුවට ද විශේෂ ආදේශයක් සිදු වී තිබේ. ඒ "කා" යන්නයි. ඒ අනුව කෘත්වා යන සංස්කෘත පූර්වක්‍රියා රූපය "කාඌණ" වශයෙන් මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ භාවිත වී ඇත.19 එසේම වච්, මුච්, රුද්, ශ්‍රැ, භුජ්, දෘශ් යන ධාතූන්ට ද පූර්වක්‍රියා ප්‍රත්‍යය එකතු වීමේදී විවිධ ආදේශ සිදු වී ඇත.20
වච් - උක්ත්වා
|
> වොත්තුං,21 වොත්තුආණ, වොත්තූණ
|
ධාතුගත ස්වරය ගුණ බවට පත් වීමෙන් සිද්ධ පූර්වක්‍රියා රූප ද දක්නට ලැබේ.23
ජි - ජෙත්වා
|
> ජෙඌණ,
|
නී - නෙත්වා
|
> නෙඌණ
|
ඇතැම් ධාතුවලට"ණ" ආගම සිදු වූ අවස්ථා ද දැකිය හැකිය.23
ජි - ජෙත්වා
|
> ජිණිඌණ,
|
ශ්‍රැ - ශ්‍රැත්වා
|
> සුණිඌණ
|
පෛශාචී ප්‍රාකෘතයේ පූර්වක්‍රියා සඳහා යෙදී ඇති ප්‍රත්‍යය වන්නේ "තූනං" යන්නයි. එය "ක්ත්වා ප්‍රත්‍යයස්‍ය ස්ථානෙ තූනං ඉත්‍යයමාදෙශො භවති"25 යන සූත්‍ර පාඨයෙන් නිර්දිෂ්ටය.
දා - දත්වා
|
> දාතූනං,
|
ග්‍රහ් - ගෘහීත්වා
|
> ඝෙත්තූනං
|
මරාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ මෙන් මෙහි ද ධාතුවට හෝ ධාතුගත ස්වරයට විවිධ වෙනස්කම් සිදු වී ඇත. "ග්‍රහ්" ධාතුවට "ඝෙත්" යන ආදේශයත් "කෘ" යන ධාතුවට "කා" යන ආදේශයත් එහිදී සිදු වී තිබේ.26 එසේම "ෂ්ට්වා" යන්න ද්ධූන, ත්ථූන බවට පත් වී ඇත.27
නශ් - නෂ්ට්වා
|
> නන්ධූන, නත්ථූන
|
"ක්ත්වා" ප්‍රත්‍යයට "ඉඅ" යන්න ආදේශ කිරීමෙන් ශෞරසේනී ප්‍රාකෘතයෙහි පූර්වක්‍රියාපද සාදාගෙන ඇත.
භණ් - භණිත්වා
|
> භණිඅ
|
රම් - රන්ත්වා
|
> රමිඅ
|
ප්‍රාකෘත ව්‍යාකරණයට අනුව ඉඅ ප්‍රත්‍යය පමණක් නොව දූණ, ත්තා ප්‍රත්‍යයන් ද යෙදී ඇත.28
"දූණ" ප්‍රත්‍යය -
භූ - භූත්වා භොදූණ
|
පඨි - පඨිත්වා - පඨිදූණ
|
රම් - රන්ත්වා - රන්දූණ
|
"ත්තා" ප්‍රත්‍යය -
භූ - භූත්වා භොත්තා, හොත්තා
|
පඨි - පඨිත්වා පඨිත්තා
|
රම් - රන්ත්වා රන්දූණ
|
මෙහි කෘ, ගම් යන ධාතූන් කෙරෙන් පරව යෙදී ඇති පූර්වක්‍රියා ප්‍රත්‍යය වන්නේ "ඩුඅ" යන්නයි. "ආභ්‍යාම් පරස්‍ය ක්ත්වා ප්‍රත්‍යයස්‍ය ඩිත් අඩු අ ඉත්‍යාදේශො වා භවති"30
කෘ - කෘත්වා කඩුඅ, කරිය, කරිදූණ
|
ගම් - ගත්වා ගඩඅ, ගච්ඡිය, ගච්ඡිදූණ
|